අපොස සා/පෙළ විභාග පිලිතුරු පත්‍ර රැගෙන හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත ධාවනය වූ වෑන් රථය ත්‍රීරෝද රථයකින් හරස්කර එම වෑන් රථයේ ගමන් ගත් විභාග මධස්ථානයේ ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට (18) දින පස්වරුවේ ත්‍රීරෝද රථ රියදුරු බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය විමර්ෂණයක් ආරම්භකර ඇත.
නෝර්වුඩ් පොලිස් වසමට අයත් පුලියාවත්ත විභාග මධ්‍යස්ථානයේ (18) දින පැවති අපොස සා/පෙළ විභාගයේ අවසන් වීමෙන් පසු එහි පිලිතුරු පත්‍ර ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත භාර දීම සදහා ශාලාධිපතිවරයාගේ පෞද්ගලික වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පුලියාවත්ත පාසලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව ත්‍රීරෝද රථ රියදුරා විසින් අවහිර කරමින් සිටීම සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ත්‍රීරෝද රථ රියදුරාට ත්‍රීරෝද රථය ගේට්ටුවෙන් ඉවත්කර ගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත.
ත්‍රීරෝද රථය ඉවත් නොකරගත් නිසා විභාග ශාලාධිපතිවරයා විසින් තම වෑන් රථය දැඩි පරිශ්‍රමයක් දරා මාර්ගය හරස්කර තිබූ ත්‍රිරෝද රථයේ නොගැටී වෑන් රථය ඉදිරියට ධාවනය කර ඇත.
පසුව ත්‍රීරෝද රථ රියදුරු වෑන් රථය මීටර් 500ක් පමණ දුරට පසුපස හබාගෙන විත් වෑන් රථය හරස්කර ත්‍රීරෝද රථය නතර කර වෑන් රථයේ සිටි ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට බැන වැදුන බවට එම විභාග ශාලාධිපතිවරයා විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප කල විමසුමකට කියා සිටියේ අදාළ ත්‍රීරෝද රථ රියදුරා හදුනාගත් බවත්, ඔහු පුලියාවත්ත දමිළ පාසල අසල ත්‍රිරෝද රථ ධාවනය කරමින් සිටින අයෙකු බවයි.
පාසලේ ගේට්ටුව අවහිර කිරිම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරයා සහ ත්‍රීරෝද රථ රියදුරා අතර වචන හුවමාරුවක් සිදු වී ඇති බවත්, එයට උරන වු ත්‍රිරෝද රථ රියදුරා වෑන් රථය ලුහුබැද විත් වෑන් රථය හරස් කර ඇති බවයි.