මහ මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්ෂාව බිඳනොවැටී පවත්වාගෙන යාමේ වගකීම ජාතික ජනබලවේගයේ තිදෙනෙකුට පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙරට තුළ සහල් හිඟයක් නොමැති බවට සහල් මෝල් හිමියන් හමුවූ අවස්ථාවේ තහවුරු වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එබැවින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර වෙනත් සහල් ආනයනය නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය. ලබන වසරේ පෙබරවාරි මාසයේ දී ගෙන ඒමට නියමිත නව රජයේ පළමු අය-වැයෙන් ජනතාවට කෙටි කාලීනව සහනාධාර ලබාදෙන බවත්, ඉන් පසු දීර්ඝ කාලීනව රට ගොඩනැඟීමෙන් පසුව ජනතාව ස්වශක්තියෙන් නැඟීසිටීමේ හැකියාව සහිත පිරිසක් බවට පත් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.“රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් ත්‍රිකුණාමලය ජනතා රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“ලංකාවේ ප්රබලතම වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාලනයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දුන්නා. මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුවීම දක්වා ලංකාවේත්, ලෝකයේත් ඉතිහාසගත වන තුන්දෙනකුගේ ආණ්ඩුවක් අප පවත්වාගෙන යනවා.
මහ මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්ෂාව බිඳනොවැටී පවත්වාගෙන යාමේ වගකීම අප තුන්දෙනාට පැවරී තිබෙනවා. නොවැම්බර් 14වැනි දිනට පසුව පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් අතුරින් විසිපස්දෙනකුට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ. අමාත්‍ය ධුරවලට ගැළපෙන නියෝජ්‍ය අමාත්‍ය ධුර තිබෙනවා. එතැන් සිට ක්‍රමානුකූලව රට ගොඩනඟමින්, මේ ගමන යනවා. පැවැති පාර්ලිමේන්තුව සෑම ජනතාවකගේම විරෝධයට, පිළිකුලට භාජනයවී තිබුණා.
කොවිඩ් වසංගතයේ දී, ජල ගැල්මකදී වාගේ ස්වාභාවික විපත්වලදී පවා ඒ විරෝධය ජනතාවගෙන් එල්ල වුණා. සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිහි, මිරිස් කුඩු අරගෙන ආවා. සමහරු පොත්වලින් පවා ගහගත්තු හැටි අපි දැක්කා. අපේ රටේ සත්තු වත්ත ජනතාවට තහනම් කළේ නැහැ. නමුත්, පාර්ලිමේන්තුව තහනම් කළා.
ඒ පාර්ලිමේන්තුව ජනතාවට උචිත පාර්ලිමේන්තුවක් නොවන බව එයින් ප්‍රකාශවී තිබුණා. ඒ පාර්ලිමේන්තුව සුද්ද කර අලුත් කිරීමට පෙළගැසෙන අතරේ හිටපු හැටදෙදෙනකුම ස්වේච්ඡාවෙන්ම ඉවත් වී ගිහින් තිබෙනවා. මාලිමාවේ අවංක, අදූෂිත වාගේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හොඳම දායකත්වයක් ලබාදෙන්න.
ත්‍රිකුණාමලය නගරය සහ දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත් වන තත්වය වෙනුවට ජනතාව බෙදලා ගැටුම් ඇති කරමින්, ඔවුන්ගේ පාලනය ගෙන ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමඟියේ පක්ෂය තමයි, ජාතික ජන බලවේගය. පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාව අප ජයග්‍රහණය කරාවි යැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයට පිවිසෙන්නේ අප ජයග්‍රහණය කර තිබෙන පසුබිමක සියලුම ජනතාව සමගියේ එක කුඩයක් යටතට ඇවිත්, සෙවණ ලබා ගැනීමටයි. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව විශ්වාස කරන, සියලුම ජනතාවගේ ආශීර්වාදය තිබෙන ආණ්ඩුව පිහිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.
ජනාධිපතිවරණයේ ජයග්රහණයෙන් පසු උතුරේ ජනතාව අතරේ විශාල පිබිදීමක් ජාතික ජන බලවේගය කෙරෙහි ඇතිවී තිබෙනවා; විශ්වාසය ගොඩනැඟී තිබෙනවා. බෙදී, වෙන්ව සිටි යුගය අවසන් කර සමඟිය සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ විශේෂ වගකීමක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට තිබෙනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම සමානව ක්‍රියාත්මක වන නීතියක් සහිත රටක් අප ගොඩනඟනවා. සමහර බාධාකාරී නීති තිබෙනවා නම්, ඒවා වෙනස් කර ජනතාවගේ යහපත වෙනුවෙන් “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා. “මම ශ්‍රී ලාංකිකයෙක්” කියලා අභිමානයෙන් කියන්න පුළුවන් පසුබිමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ගොඩනඟා දෙනවා.”