වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහල් මාෆියාවේ නායකයා යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා අද (06දා) පැවසීය. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,
“ජනාධිපතිතුමා මේසයට ගහලා නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 230ට නියම කළත් ඊයේ වෙළඳපොළේ නාඩු කිලෝවක් අපි ගත්තේ රුපියල් 240ට. පසුගිය කන්නය කපන විට නාඩු කිලෝවක මිල රු.170යි. එතකොට වී මිලදී ගත්තෙත් රුපියල් පහකවත් ලාභයක් තබා ගෙන විකුණන්නයි. එහෙම බලන විට රු. 230 විකිණෙන විට මෝල් හිමියන්ට රු.65ක ලාභයක් තිබෙනවා. එහෙම නම් ආණ්ඩුව සහල් ආනයනයෙන් බලාපොරොත්තු විය යුත්තේ සහල් මිල රු.230 සිට 170දක්වා පහත හෙලීමයි.
අතීතයේ දී ආණ්ඩු සහල් ආනයනය කරලා අඩු මිලට වෙළඳපොළට හඳුන්වා දීමෙන් තමයි මෝල්හිමියන් මට්ටු කරලා සහල් මිල පහත දැම්මේ. නමුත් මේ ආණ්ඩුව මොකද කළේ? ආනයන කරන සහල් මත රු. 65ක බද්දක් දාලා එම සහල් මිල දේශීය සහල් මිලට සමාන කළා. ඒකෙන් මේ අසාධාරණ සහල් මිල දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ආණ්ඩුවත් දායක වුණා.
රු.65 බද්දක් වෙනුවට රු.45බද්දක් පැනෙව්වා නම් ආනයන කරන සහල් කිලෝවක් රු.210ට විකුණන්න පුළුවන් වෙනවා. සහල් රු.210ට වෙළෙඳපොළේ තිබිය දී තමන්ගේ ගැනුම්කරුවා රැක ගන්න නම් දේශීය සහල්ද රු.210ට හෝ ඒ ආසන්න මිලකට විකුණන්න වෙනවා. සහල් මිල රු.210ට ආවාම ඊ ළඟ සහල් තොගයට අය කරන බද්ද රු.15දක්වා අඩු කරනවා.
එතකොට සහල් මිල රු.180දක්වා අඩු වෙනවා. ජනතාවට බත් කන්න පුළුවන් මිලකට සහල් මිල පහත වැටෙනවා. අද සහල් මිල පහත වැටීමට තිබෙන ලොකුම බාධාව තමයි සහල් මත අය කරන රු.65 බද්ද. ඒ නිසා සහල් මාෆියාවේ නායකයා වෙන කවුරුවත් නොවේ වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මැතිතුමාය කියන එක බය නැතිව කියන්න පුළුවන්” යනුවෙනි.