තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කර තිබු තරුණ හමුවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
ත්‍රිකුණාමලයේ තිබෙන තරුණ සේවා සභාවට අයත් අක්කර 200ක ඉඩමෙන් කොටසක් සංචාරක ව්‍යාපාරය සඳහා ලබාදී ඉතිරි කොටස ස්ථීර යොවුන් පුරයක් ඇති කිරීම වෙනුවෙන් ලබාදීමට මම අපේක්ෂා කරනවා. ඒ අනුව ඔබේ විනෝදාස්වාද කටයුතු සඳහා නිදහසේ භාවිතා කළ හැකි අන්දමින් ඊළග වසර දෙක තුළදී එය සකස් කර දීමට කටයුතු කරන බව කිවයුතුයි.
මෙවර පොසොන් පොහොය ජනතාව මහත් උදයෝගයෙන් යුතුව සමරනු ලැබුවා. පොසොන් පොහොය නිමිත්තෙන් ලක්ෂ 10කට වැඩි පිරිසක් අනුරාධපුර පුද බිමට පමණක් පැමිණ සිටියා. ඊට පෙර වෙසක් පොහොය නිමිත්තෙන් ලක්ෂ 20 ක පමණ ජනතාවක් කොළඹට පැමිණියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා අවුරුදු උත්සව පැවැත්වුණා. මෙවර පොසොන් පොහොයට පමණක් ලංකාවේ දන්සැල් 20,000ට වැඩි ප්‍රමාණයක් තිබුණා. වසර කිහිපයකින් පසුව ජනතාවට නිදහසේ මෙම උත්සව සැමරීමට හැකිවී තිබෙනවා.
මෙතෙක් කාලයක් රටේ සහ තමන්ගේ අනාගතය පිළිබඳ ජනතාව බියෙන් පසු වුණා. රටේ රැඳී සිටිනවාද විදේශ ගත වෙනවාද කියා තීරණය කළ නොහැකිව සිටියා. පසුගිය වසර 04 තුළ රටේ ආර්ථිකය කඩා වැටුණා. රටේ විදුලි බලය තිබුණේ නැහැ. ආහාර, ඖෂධ, ඉන්ධන ද තිබුණේ නැහැ. හැම ව්‍යාපාරයක්ම කඩා වැටුණා. ඒ අනුව අනාගතය පිළිබඳ විශාල බියක් අප තුළ පැවතුණා. කොරියන් තානාපති කාර්යාලය අසළ රැකියා ලබා ගැනීම සඳහා තරුණ පිරිස් විශාල වශයෙන් රැස්ව සිටියා. තවත් පිරිසක් සෞදි අරාබියට යාමට සූදානම් වුණා. නමුත් දැන් ක්‍රම ක්‍රමයෙන් අපේ උත්සාහය මත රටේ ආර්ථිකය යහපත් වෙමින් පවතිනවා.
අපේ රට ලබාගත් ණය නැවත ගෙවීමට ශක්තිය මේ වන විට ඇතිකරගෙන තිබෙන බව ණය දුන් රටවල් පිළිගෙන තිබෙනවා. ඒ සම්බන්ධව අප ඔවුන් සමඟ එළැඹෙන සතියේ දී එකඟතාවක් ඇති කර ගන්නවා. ඒ අනුව නැවත අපට විදේශ විනිමය ලැබෙනවා, ඒ වගේම ආධාර හිමි වෙනවා, විදේශ ආයෝජන ලැබෙනවා. ඒ සමඟ අපට නව ගමනක් ආරම්භ කිරීමට හැකි වෙනවා.
අප මෙම අලුත් ගමන යන්නේ කෙසේද කියා තීරණය කළයුත්තේ ඔබයි. අප නැවත පරණ ක්‍රමයටම ගොස් ණය ලබා ගැනීම සිදු කළහොත් තවත් වසර 15ක් යන විට මීට වඩා දරුණු ආර්ථික කඩා වැටීමකට මුහුණ දීමට සිදු වෙනවා.
මේ රටේ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අප අලුත් ගමනක් යා යුතුයි. ජපානය, වියට්නාමය, චීනය, කොරියාව, මැලේෂියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි මේ සෑම රටක්ම අපනයන ආර්ථිකයකට යොමු වුණා. එදා මේ රටවල් පැවතියේ අපේ රටට වඩා දුප්පත් ලෙසයි. නමුත් අද ඔවුන් ඉහළ දියුණුවක් ලබා තිබෙනවා.
ඉතා දක්ෂ තරුණ පිරිසක් අපේ රටේ සිටිනවා. නමුත් ඔවුන්ට අවස්ථාවක් හිමිව නැහැ. අපනයන ආර්ථිකයක් ඇති කර ගනිමින් විදේශ විනිමය උපයා ගන්නේ කෙසේද කියා අප සිතිය යුතුයි. අප සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි.
අපේ යුතුකම වන්නේ අප වෙනුවෙන් අනාගතයක් සකස් කිරීම නොවෙයි, තරුණ ඔබට හොද අනාගතයක් නිර්මාණය කර දීමයි. රටක් දියුණු කිරීමට වසර 20ක් පමණ ගත වෙනවා. 2048 වන විට එනම් අපේ නිදහසින් අවුරුදු 100ක් සපිරෙන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්විය යුතුය කියා අප ප්‍රකාශ කළේ ඒ නිසයි. අප එසේ පවසන විට ඇතැම් අය අපට අපහාස කළා.
2047 වසර වන විට ඉන්දියාවට නිදහස ලැබී වසර 100ක් ගත වෙනවා. ඒ අනුව නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ 2047 වසර වන විට දියුණු ඉන්දියාවක් ඇති කළයුතුයි බවයි. 2047 දියුණු ඉන්දියාවක් නිර්මාණය කරන විට අපට නිදහස් ලැබී වසර 100ක් සම්පුර්ණ වන 2048 වසර වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සියලුදෙනා කැපවෙමු. අප දැන් සිදු කරන්නේ ඒ සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමයි. ඒ නිසා තරුණ ප්‍රජාව ලෙස ඔබ රටේ අනාගතය පිළිබඳ සාකච්ඡා කළයුතුයි. මගේ අනාගතය හෝ මෙහි සිටින මැති ඇමතිවරුන්ගේ අනාගතය නොවෙයි, ඔබගේ අනාගතය පිළිබඳව තීරණය කළයුතුයි.
1977 වසරේදී ජේ.අර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේ මට අනාගතයක් අවශ්‍ය නැහැ, ඔබේ අනාගතය ඔබ නිර්මාණය කර ගන්න කියලා. ඒ අනුව තරුණ සේවා සභාව ඇති කළා, යොවුන් පුර ඇති කළා, ඇගළුම කර්මාන්ත ශාලා ඇති කළා. සංචාරක කර්මාන්තය ගොඩනැගුවා. යුද්ධය තිබුනේ නැත්නම් සංචාරක ව්‍යාපාරය විශාල දියුණුවක් ලබනවා. නමුත් පසු කළෙක රටක් ලෙස අපි ආර්ථික වශයෙන් කඩා වැටුණා. දැන් නැවත අපි රටේ ආර්ථිකය ගොඩනැගිය යුතුයි. ඒ සඳහා සියලුදෙනා එක්විය යුතුයි. අප සියලුදෙනා එක්වී රටට සහ ඔබට අවශ්‍ය අනාගතය නිර්මාණය කරමු.
ඒ වෙනුවෙන් පුළුල් සංවාදයක් ආරම්භ කරන ලෙස මම තරුණ කටයුතු අමාත්‍යවරායට කියන්න කැමතියි. අපට නැවත පරණ තත්වයට යන්න බැහැ. නැවත තෙල් නැතිව, පොහොර නැතිව දුක් විඳින්න බැහැ. අපට හොඳ අනාගතයක් අවශ්‍යයි ඒ වෙනුවෙන් අප සියලුදෙනා එකතුවෙමු කියා මම ආරාධනා කරනවා.
එහිදී තරුණ තරුණියන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ප්රශ්නය,
ඔබතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ස්මාර්ට් කෘෂිකර්ම වැඩසටහන මඟින් ස්මාර්ට් ගොවියන් ලෙස ඉදිරියට යාමට අපට අවස්ථාව සලසා දිය හැකිද?
පිළිතුර,
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරනු ලැබුවා. ලෝකයේ අනිකුත් රටවල සහාය ඇතිව ලබන වසරේ සිට මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා. මේ වසරේ ක්‍රියාත්මක වන්නේ අත්හදා බැලීමක් පමණයි.
ප්රශ්නය,
ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ඇතුළු විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවක වර්ජනය නතර කර දිය හැකිද?
පිළිතුර,
අනධ්‍යන සේවක පිරිස වෙනුවෙන් රජය මඟින් ඉදිරිපත් කළ හැකි වැඩපිළිවෙළ අප ඉදිරිපත් කර තිබෙනවා. ඒය පිළිගෙන නැවත රාජකාරියට වාර්තා කරන ලෙස මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ප්රශ්නය,
කෘෂිකාර්මික ප්‍රදේශයක ජීවත් වන තරුණ තරුණියන් වශයෙන් අප අපනයන බෝග නිෂ්පාදනය කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා මඟ පෙන්වීම ලබා දීමට වැඩසටහනක් ආරම්භ කළ හැකිද?
පිළිතුර,
කෘෂිකාර්මික භෝග අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් රට තුළ ආරම්භ කිරීමට අප පියවර ගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම වෙනත් ආයතන සමඟ එක් වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම එම වැඩසටහන නිසි සැලැස්මක් ඔස්සේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව පැවසිය යුතුයි.