සබරගමු පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස ඊ.කේ.ඒ. සුනිතා මහත්මිය 30දා වැඩ බාරගත්තාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත. පසුගිය 26දා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන් කුමානායක මහතා විසින් සුනීතා මහත්මියට අදාල පත්විම් ලිපිය ප්රදානය කර තිබුණි. ඇය සබරගමු පළාත් සභාවේ දහසය වන ප්‍රධාන ලේකම්වරියද වෙයි.
සුනීතා මහත්මිය ප්‍රදාන ලේකම් තනතුරට පත්වීමත් සමගම සබරගමු පළාතේ ඉහළම තනතුරු දෙකම හොබවන්නේ කාන්තාවන් දෙදෙනෙක්ය. සබරගමුවේ ආණ්ඩුකාරධුරය හොබවන්නේද කාන්තාවකි. ඇය චම්පා ජානකී මහත්මියයි.
හිටපු ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා විශ්‍රාම යාමට නියමිතය.
රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂවේදී දෙවන පෙළ සාමාර්ථයක් සහිතව ප්‍රථම උපාධිය සම්පුර්ණ කර ඇති සුනීතා මහත්මිය පසුව කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
ඇය ශ්‍රීලංකා පරිපාලන සේවයට මුලින්ම එක්ව ඇත්තේ 1998 වර්ෂයේ දීය. සොරණාතොට, කැනමල්පල සහ ලුණුගම්වෙහෙර සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති ඇය පසුව ලුණුගම්වෙහෙර, ඔකේවෙල සහ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසද කටයුතු කරනු ලැබීය.
හම්බන්තොට සහ මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කළ ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්වල දිවිනැගුම කලාප අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර ඇත.
සබරගමුව පළාත් සභාවේ සභා ලේකම්වරිය ලෙසත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් දූරයත් ඇය විසින් හොබවන ලදී.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා සංකීර්ණයේ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදි නව තනතුරේ වැඩ බාරගැනීමේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය ද පැමිණ සිටියාය.