2025 මාර්තු මස 15 වනදා දිවයින පුරා ක්‍රියාත්මක කළ වන සත්ව සංගණනයේ වාර්තාව හෙට (28දා) ලැබන බවත් එම වාර්තාව අනුව වන සත්ව කළමණාකරණ වැඩපිළීවෙල ආරම්භ කරන බවත් කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.
මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ "දිවයින පුරා පසුගිය 15 වනදා සිදු කළ වන සත්ව සංගණනයේ වාර්තාව 28 වනදා ලැබෙනවා. මේ වාර්තාව සම්පූර්ණ නිරවුල් වාර්තාවක් හැටියට පිළිගන්නත් බෑ. තවත් කිහිප අවස්ථාවක් සංගණන කටයුතු කරන්න ඕන.
අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වන සතුන් කළමණාකරණය කියන මාතෘකාව ඉදිරියට ගෙන්න. අපේ රටේ වන සතුන් කළමණාකරණය කියන මාතෘකාවක් නෑ. වන ජීවි එක තියෙන්නේ සතුන් රකින්න.කළමණාකරණයක් නෑ. කළමණාකරණයක් කරන්න නම් සතුන් පිළිබඳ ගණනය කිරීමක් අවශ්‍යයි.
සංඛ්‍යාත්මක ඉලක්කමක් අවශ්‍යයි. ඔස්ට්‍රේලියාව වගේ රටක් කැන්ගරුව්න් කළමණාකරණය කරන්නේ ඉලක්කම දන්න නිසා.ලංකාවේ වන සතුන් ගැන ඉලක්කමක් දන්නේ නෑනේ. රිළවු ගැන ඉලක්කමක් දන්නේ නෑ. ඒ නිසා සාපේක්ෂ ඉලක්කමක්වත් ගන්න ඕන. එහෙම ගත්තොත් තමයි විදේශ රටවලට යවනවද කළමණාකරණය කරන්න මොන මොන වැඩපිළිවෙළවල්ද ගන්න පුළුවන් කියන විද්‍යාත්මක උත්තරය ගන්න පුළුවන් වෙන්නේ.
මෙතෙක් මේ උත්තරය ගැනීමක් සිද්ධ වෙලා නෑ. අපි ඒක ආරම්භ කරල තියෙනවා. ආරම්භයේදී සියල්ල සම්පූරණ වෙන්නේ නෑ. නිවරැදිම ඉලක්කම් ගණනය කර ගන්න පුළුවන් වෙන එකකුත් නෑ.නමුත් සාපේක්ෂ උත්තරයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ සාපේක්ෂ උත්තරයට පදනම් වෙලා අපි වන සතුන් කළමණාකරණය කරන්න අවශ්‍ය පියවරයන් ගන්නවා"