එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සජිත්ට මෙම මැතිවරණය ජයගත නොහැකි බවත්, සජිත්ට ලබාදෙන ඡන්දය අනුරට ලබාදෙන ඡන්දයක් වන බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසද ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
තම නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මත බවත්, පෙර අත්තිවාරම දෙස බලා එය ගොඩනැගීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නා බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා මෙවර ජනතා වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැගීම වෙනුවෙන් බවද සඳහන් කළේය.
සජිත් හා අනුර ජන වරම ඉල්ලන්නේ තිබෙන නිවසත් ගිනි තබා දැමීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වනු ඇති බවද කියා සිටියේය.
අවුරුදු දෙකකට පෙර මේ රටේ විශාල අවුලක් තිබුණා. ආහාර ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. හැමතැනම පෝලිම් තිබුණා. එදා ප්රශ්නයඋග්ර වූ විට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මැයි 09 වනදා ඉල්ලා අස් වුණා. සම්ප්රදාය අනුව අගමැතිවරයා ඉවත් වූ පසු එම වගකීම විපක්ෂනායකවරයා භාරගත යුතුයි. මුළු දවසම බලාගෙන හිටියත් ඔහුගෙන් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ.
රාත්‍රී වන විට අපට ආරංචි වුණා මෙම වගකීම භාර ගන්න බැහැ කියා විපක්ෂනායකතුමා කිව්වා කියලා. ඊට පස්සේ කථාවක් ගියා, ජනාධිපතිවරයා හමු වෙන්න සරත් ෆොන්සේකා ගියා කියලා. සරත් ෆොන්සේකා මැතිතුමත් වගකීම භාර ගන්නේ නැතිව නැවත පැමිණ තිබුණා.
ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් මේක භාරගන්න කියලා. මම තනිවම ගිහින් මේ වගකීම භාරගත්තා. ඊට පසුව මට උදව් කිරීමට මේ සියලුදෙනා එකතු වුණා. අපි සියලුදෙනා එකතු වුණේ රටේ ආර්ථිකය ස්ථාවර කර
ගැනීම වෙනුවෙන් බව කිවයුතුයි. අපි එකතුවුණේ නැත්නම් දරුවන්ට ආහාර නැතිව යනවා. කිරි පැකට් එකක් ගන්න අම්මටයි තාත්තටයි මාරුවෙන් මාරුවට පෝළිම්වල ඉන්න වෙනවා.
එදා මේ රටේ ප්රචණ්ඩත්වය ඇති වුණා. මම එම තත්ත්වය පාලනය කළා. එදා මම එම පියවර නොගත්තා නම් එදා ලංකාව, අද බංග්ලාදේශය මුහුණ දී සිටින තත්ත්වයට පත් වෙනවා. මම සියලුදෙනා එක් කරගනිමින් එදා මේ රටේ ආණ්ඩුක් හැදුවා. අනුරටයි,
සජිත්ටයි ඊට එක්වන ලෙස මා ආරාධනා කළා. නමුත් ඔවුන් අවේ නැහැ. දැන් රාජපක්ෂලා ඉවත් වූ විට කියනවා රාජපක්ෂවරුන් අයින් වෙනවා කියලා දන්නවා නම් අප මෙතන ඉන්නවා කියලා.
අපි ඇවිල්ලා 70%ක තිබු උද්ධමනය 2%ක් දක්වා අඩු කළා. රතු පරිප්පු 40%කින් අඩු කළා, තිරිගු පිටි මිල 29%කින් අඩු කළා. කුකුල් මස් මිල 11%කින් අඩු කළා. ඩීසල් මිල 28%කින් සහ ගෑස් මිල 31%කින් අඩු කළා. දළ දේශීය නිෂ්පාදනය 2023 වසරේදී ඩොලර් බිලියන 84ක් බවට පත් කළා. අප එය තවත් ඉහළ නංවා ගත යුතුයි.
ඒ වගේම අපි රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. දැන් උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව ඉදිරියේ දී වැටප් වැඩි කරනවා. ඒ වගේම අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් ලබා දුන්නා. බංකොළොත් රටක් වුවද අප මෙම වැඩකොටස ක්‍රියාත්මක කළා.
අප ගත් පියවර නිසා තමයි අද සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. ඔවුන් එදා පැනලා ගියා, අද ඡන්දයකට එනවා. මෙය තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය කියා මම ඔවුන්ට කියන්න කැමතියි.
සජිත් සහ අනුර කියන විදියට බදු අඩු කළොත් රටේ ආදායම තවත් අඩු වෙනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බදු අඩු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ මේ රටේ ජනතාවට පොලිම්වල සිටීමට සිදු වුණා. මෙවැනි වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි වන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ තවත් රටවල් 17ක් සහයෝගය ලබාදී තිබෙනවා. අපි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළොත් නැවත 2022 වසරේ තිබු තත්ත්වයට යාමට සිදුවන බව මම කණගාටුවෙන් වුවද කිවයුතුයි. අපි ඇති කළ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යා යුතුයි. බංග්ලාදේශයේ වගේ අවුලක් මේ රටේ ඇති කරගන්න බැහැ.
සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිවයුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කරන්න, අනුරට උදව් කර අපේ ප්‍රතිපත්ති අපි නැති කරගත යුතු නැහැ. ඒ නිසා අපි සියලුදෙනා දෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු. මේ රටේ ජයග්‍රහණය තහවුරු වන්නේ මගේ ජයග්‍රහණය මත බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.