බස් රථවල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිණි කාන්තා කල්ලියක සාමාජිකාවන් තුන්දෙනෙකු රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින් මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, තඹුත්තේගම කුඩාගම සහ බුලත්සිංහල පාර ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 23 සහ 30වියේ පසුවන ගැබිණි කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකි.
කොළඹ සිට අනුරාධපුර දක්වා තඹුත්තේගම හරහා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් මගී කාන්තාවක් විසින් තම ගෙල බැඳි රන මාලය බස් රථය තුලදී කවුරුන් හෝ කඩා ගෙන ඇති බවට පැවසීමත් සමග බස් රථය අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ධාවනය කර, එහිදී සිදු කල පරීක්ෂාවකදී සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රථමයෙන් බස් රථයේ සිටි සැක සහිත කාන්තාවන් කිහිපදෙනෙකු, කාන්තා පොලිස් නිලධාරියණියන් යොදවා සිදු කල පරීක්ෂාවකදී එක් ගැබිණි කාන්තාවකගේ හැට්ටය තුල සඟවා තිබූ රුපියල් 165000ක් වටිනා රන් මාලයක් , තවත් කාන්තාවකගේ හැටිය තුළ සඟවා තිබියදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2700ක්, අනෙක් ගැබිණි කාන්තාව සතුව තිබූ සොරකම් කළ බවට සැක කරන මුදලින් රුපියල් 7820ක මුදලක් තිබී හමුවූ බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා නීත්‍යානුකූලව හඳුනා ගැනීම සඳහා වලංගු කිසිදු හැඳුනුම්පතක් හෝ ලියවිල්ලක් ඔවුන් සන්තකයේ නොතිබූ බවත් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී එම සැකකාරියන් පදිංචි ප්‍රදේශ සම්බන්ධයෙන්, වරින් වර විවිධ ප්‍රදේශවල නම් කියන බවද පොලිසිය කියයි.
එක සැකකාරියකගේ හැට්ටය තුල තිබී හමුවූ හෙරොයින් මත්කුඩු, තමන් හෙරොයින් බව නොදන්නා බවද, බස් රථය පසු පසින් යතුරු පැදියකින් පැමිණෙන සැමියාට එය රැගෙන ආ බවද එක් සැකකාරියක් සිදු කල ප්‍රකාශ වල සටහන් වේ.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල යෙදෙන මෙම ලැබෙන කාන්තාවන් ඇතුළු කාන්තාවන් කල්ලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සොරකම් සිද්ධි රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
සැකකාරියන් සොරකම් සිදු කර නීතියෙන් ගැලවීම සඳහා, දරුවෙකු ලැබීමට සිටීම අවියක් ලෙස භාවිතා කර පුද්ගලයන්ගෙන් අනුකම්පාව ලබා ගැනීම හා සැක කිරීම වළක්වා ගැනීමට යොදාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.