පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුව තුළදීම වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (07) නියෝග කළාය.
මෙතෙක් අත්අඩංගුවට පත්ව නොමැති ප්‍රධාන සැකකාරියගේ මවගේ සහ සහෝදරයාගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය වෙඩි තැබීමට උපයෝගී කරගත් රිවෝල්වරය ඇතුළු නඩු භාණ්ඩ 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමටද නියෝග කළාය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් බුස්ස බන්ධනාගාරයේ සිට ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණී.
සැකකරුවන් වන හිටපු පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න, දොන් උදය කුමාර, හසිත රොෂාන්, දමිඳු ලක්ෂාන් ,දමිත් අන්ජන, චමෝද් ගිම්මාන, චමිදු තිවංක, නලින් දුෂ්‍යන්ත, දේවගේ සමන්ති ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ මෙසේ ඉදිරිපත් කෙරිණී.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධියේ වෙඩික්කරු සහ ඔහුට සහාය දුන් රියදුරු කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන වෙන විට පුද්ගලයින් 47 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවත්, රිවෝල්වරය ඇතුළු නඩු භාණ්ඩ විසි පහක් අඳුනාගෙන ඇති බවත් සඳහන් කළේය.
මේ අනුව අදාල රිවෝල්වරය, සැකකරුගේ කමිසය, සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් ජීව අත්බෝම්බය, වෑන් රථ දෙකක් ඇතුළු නඩු භාණ්ඩ 25ක් අධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, නුගේගොඩ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ඒ සඳහා සහය ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
අපරාධය සැලසුම් කිරීමට සම්බන්ධ තවත් ස්ථානයක් පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කරුණු වාර්තා කිරීමටද කටයුතු කළ බව වැඩිදුරටත් පැවසීය.
රඳවාගෙන ප්‍රශ්න කරන ප්‍රධාන සැකකරු වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සැකකරුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.
සැකකරුවන් විමර්ශනය සඳහා එළියට ගෙන යෑමේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට පොලිසියට නියෝග කරන්නේයි ඉල්ලා සිටියේය.අදාල ලියවිල්ලක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
එහි පිටපතක් කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කළ නීතිඥවරයා එම නියෝග අනුව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටියේය.
සැකකරු යම් විමර්ශනයක් සඳහා රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙනියන්නේ නම් එය සම්පූර්ණයෙන් වීඩියෝ එක ගත කළ යුතු බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
වෙඩික්කරුට ආධාර අනුබල දුන්නේ යැයි රඳවා ප්‍රශ්න කරන සැකකරු බැලීමට ඔහුගේ බිරිඳට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයට අදාළව ඉල්ලා සිටි නියෝග නිකුත් කළාය.
නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස දන්වා සිටි මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසටද දන්වා සිටියාය.