කොවිඩ් පාලනය සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, තවදුරටත් ඒ වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන් රජය කොවිඩ් පාලනයට එවැනි ඉහළම ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවක ජනතාව ඒ උදෙසා උපරිම දායකත්වයක් ලබා දිය යුතු බවත් ඔවුන් ලබාදෙන දායකත්වය මත කොවිඩ් පාලනය තීරණය වන බවත් අමාත්‍යවරයා කීය.
කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේ විවෘත කරන ලද වික්‍රමාරච්චි අක්ෂි විශේෂඥ ආයතනයට අනුබද්ධව “සීස් විෂන් සෙන්ටර්”(ZEISS VISION CENTER) ආයතනය අද (10) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
සංචරණ සීමා පැනවීම තීරණය කරනුයේද ජනතාව කොවිඩ් පාලනයට දක්වන දායකත්වය මත බවත් ඒ සඳහා ජනතාව අයහපත් තත්තවයක් පෙන්නුම් කළහොත් යළි එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා කීය.
ජනතාව කොවිඩ් පාලනයට ලබා දෙන ඉහළ දායකත්වය මත මෙම අවාසනාවන්ත තත්ත්වය රටින් තුරන් කළ හැකි යැයිද ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව කොවිඩ් පාලනයේ යහපත් තත්ත්වයකට පැමිණි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ වන විට සාර්ථක එන්නත්කරණයක් සිදුව ඇතැයිද එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ ජීවත් වීමේ වටපිටාව ජනතාව සකසා ගතයුතු යැයිද අමාත්‍යවරයා කීය.
ගෝලීය කොවිඩ් ව්‍යසනය ලෝකයටම අලුත් තත්ත්වයක් යැයිද ඒ හා ජීවත් වීමේ වැඩපිළිවෙල ජනතාව විසින්ම සකසා ගතයුතු යැයිද රජය කොවිඩ් පාලනයට මැදිහත් වීමෙන් ලබාදිය හැකි ඉහළම දායකත්වය ලබා දෙන්නේ යැයිද හෙතෙම කීය.
ඉතා දීර්ඝ කාලයක් වසංගත තත්ත්වය පැවතියහොත් ආර්ථික ප්‍රශ්න මතුවිය හැකි බවද එ් තුළ බොහෝ පිරිසකට දුක් විඳීමට සිදුවිය හැකි බවද කොවිඩ් පාලනය එනිසා සියලු ජනතාව එක්ව කොවිඩ් පාලනයට උපරිම දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී. එවැනි තත්ත්වයකට පත් නොවීමේ වගකීම ජනතාවගේ ක්‍රියා කලාප මත පදනම් වන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව පූර්ණ නිගමන ඉදිරිපත් කළ නොහැකි යැයිද එහෙත් වසංගතයෙන් ප්‍රවේශම් වීම සෑම අතින්ම යහපත් තත්ත්වයක් බවද හෙතෙම කීය. රටෙහි එන්නත්කරණය සිදු වන්නේ යම් යම් රටවලට අවශ්‍ය ආකාරයට නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පමණක් පදනම්ව යැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.