සංගීත ප්රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් තරුණයකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත ප්රදේශයේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්රනාන්දු නැමැති 17 හැවිරිදි අයෙකු බව පොලිසිය කීය.
පානදුර ප්රාදේශීය සභාවේ රිවිදෙව්ගම අත්පන්දු ක්රීඩා පිටියේදී පෙරේදා (04) බක්මහ උළෙලක් පවත්වා ඉන්පසු රාත්රි ඩී ජේ සංගීත ප්රසංගයක් පවත්වා තිබේ.
එහිදී මියගොස් ඇති තරුණයා නර්තනයේ යෙදෙමින් සිට ඇති ඒ අසල සිටී ඝාතනය සිදුකල තරුණයාගේ මවට ඇතුළු කාන්තාවන්ට නර්ථනයේ යෙදීමට ඔහු යෝජනා කර ඇති බව සඳහන් වේ. එම යෝජනාවට සැකකරු විරෝධය පළකර ඇති අතර, ඉන්පසු ඇති වූ කතාබහකින් පසු ඝාතනය සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
උදරයට පිහි පහරවල් තුනක් සහ තුනටිය ප්රදේශයට පිහි පහරවල් දෙකක් එල්ල වී බරපතල තුවාල ලබා සිටි තරුණයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
පහරදීම සිදුකල තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කරන ලද අතර , මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූණි .
සැකකරු පානදුර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති (වැබ)පොලිස් පරීක්ෂක ඒ ඩී මෙන්ඩිස් මහතාගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්