ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශේෂිත එකඟතාවකට පිවිසීමක් පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්ව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෘවර් පවසයි. අද (11දා) දිනයේදී මොරොක්කෝවේ, මරාකෙෂ් නුවරදී පැවැත්වුණු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හමුවක් අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.
චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇතැයි පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ඊයේ (10දා) චීනයේ බීජිං නුවරදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වන වංවෙන්බින් මහතා විසින් එක්සිම්බ් බැංකුව ශ්‍රී ලංකාව සමග මූලික ණය එකඟතාවකට පිවිසීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
ශ්‍රී ලංකාව මෙතෙක් විදෙස් ණය ලබා ගෙන ඇති ප්‍රධානතම ආයතනයක් ලෙසද චීනයේ එක්සිම් බැංකුව සැලකෙයි. 2022 වසර අවසන් වන විට එම ණය ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 4.1ක් වන අතර, එය ශ්‍රී ලංකාව සතු සමස්ත විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 46කට ආසන්න මුදලින් 11%කි.
ශ්‍රී ලංකාව සතුව ඇති විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවේදී අනෙකුත් ණයහිමි රාජ්‍යයන් සහ ආයතන මෙන්ම එක්සිම් බැංකුවද ශ්‍රී ලංකාව සමග සාකච්ඡා පවත්වමින් සිටියි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330න් අනුමත කරගැනීම සඳහා මෙම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එකඟතාවකට පැමිණීම අනිවාර්ය වී තිබේ.
මෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක් පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට හිමි විය. මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතාද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් චීනයේ එක්සිම් බැංකුව විසින් මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව පළකර ඇතැයි පවසා සිටියේය