ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එය මිළදී ගැනීම සදහා " ජනතා සමාගමක් " ස්ථාපිත වෙමින් පවතින බව එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අද (18දා) උදෑසන පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
මෙහිදී මුලින්ම අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා මිළ ගනන් කැදවීමක් හෝ අභිලාෂ කැදවීමක් සිදු කර නොමැති බවත් , එවැනි පසුබිමක එය මිළදී ගැනීම සදහා කිසිවෙකු ඉදිරිපත් නොවීම සාමාන්‍ය තත්වයක් බවත් පැවසීය.
එසේ ප්‍රතිව්‍යුහගත කිරීමක් 2016 වසරේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් සිදු වී තිබූ අතර ඒ සදහා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව අභිලාෂ කැදවීමේ නිවේදනය ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ බව පැවසීය.
එසේ අභිලාෂ හෝ මිළ ගනන් කැදවීමකින් තොරව ශ්‍රී ලන්කන් මිළදී ගැනීමට කවුරුත් නැහැ යනුවෙන් ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් බවත් අප දන්නා පරිදි ශ්‍රී ලන්කන් මිළදී ගැනීම සඳහා දේශීය සහ විදේශීය ගැණුම්කරුවන් රාශියක් මේ වනවිට තමන්ගෙන්ද කරුණු විමසා ඇති බව ජනක විජයපතිරත්න මහතා පැවසීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක යසරත්න මහතා එසේ ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අභිලාෂ කැදවීමක් සිදු වුවහොත් එය මිළදී ගැනීම සදහා දැනටමත් " ජනතා සමාගමක් " ස්ථාපිත වෙමින් පවතින බවත් එය ඉන්දියාවේ " අමූර් " කිරි නිෂ්පාදන සමාගම මෙන් එකක් බවත් අනාවරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ සුපරීක්ෂක ලිවිස්ටන් දසනායක මහතා අදහස් දක්වමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ සේවක අතිරික්තයක් නොමැති බවත් සේවකයින් විශ්‍රාම ගැන්වීමේ චක්‍ර ලේඛයක් මගින් අත්‍යාවශ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් දැනට විශ්‍රාම ගෙන ඇති බවත්.
තවදුරටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ අනවශ්‍ය සේවකයින් විශාල වශයෙන් රැදී සිටින බවත් ප්‍රකාශ වන තොරතුරු අසත්‍ය බවත් ශ්‍රී ලන්කන් තුළ රැදී සිටීමට වසරකට විභාග සහ පරීක්ෂණ 08 කට පමණ සහභාගී වී තම යෝග්‍යතාව තහවුරු කර ගත යුතු බව ද පැවසීය.