2023-2024 වර්ෂය සඳහා පැවැත් වූ ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහෝ දින අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියේ, 2023-2024 ශ්‍රීපාද වන්දනා වාරය (23දා) දිනයෙන් අවසන් වීමෙන් පසු ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ යුද හමුදාවේ සහාය සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව නල්ලතන්නිය බගවන්තලාව හරහා බලන්ගොඩ මාර්ගය, නල්ලතන්නිය, අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය, ශ්‍රීපාද රත්නපුර රජ මාවතෙන් සහ කුරුවිට එරත්න යන මාර්ග හතර ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරීම හෙට (24දා) සිදු කරන බවයි.
ඉන් පෙරහරවල් දෙකක් හෙට (24දා)අලුයම ශ්‍රීපාද උඩ මළුවේ සිට ගමන් ආරම්භ කරන අතර, ශ්‍රීපාද උඩ මළුවේ හෙට (24දා)දහවල් බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ලක්ෂපාන සහ බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කරන පෙරහරවල් දෙකද උඩ මළුවේ සිට පහළට ගමන් කරයි.
මාර්ග හතරක් ඔස්සේ වඩම්මවනු ලබන සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා හෙට (24දා) රාත්‍රියේ පුරාණ චාරිත්‍රානුකූලව දේව පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව අනිද්දා (25දා) පස්වරුවේ පැල්මඩුල්ලරජමහා විහාරස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහරකින් සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ වඩම්මවා ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බවයි.
වෙසක් පොහෝ දින තෙක්ම 2023-2024 වර්ෂය සඳහා ශ්‍රීපාදය වන්දනා කිරීමට වන්දනාකරුවන්ට අවස්ථාව තිබෙන බවද උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ