ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එහි සේවකයින්ට සේවය කරන ලද වසරකට මාසය බැගින් 2007 වර්ෂයේ සිටම පාරිතෝෂික ගෙවා තිබෙන බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ. 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනතට අනුව සේවකයින් සදහා පාරිතෝෂික ගෙවීමේදී සම්පූර්ණයෙන් සේවය කරන ලද එක් එක් වර්ෂය සදහා මාස ½ ක වැටුපට සමාන මුදලක් පමණක් පාරිතෝෂික ගෙවිය යුතු බවද එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 2023.12.31 දක්වා කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද විගණන මූල්‍ය ප්රකාශනයේ මේ බව සදහන් වේ.
2007.11.15 දින පැවති කළමණාකරන කමිටු තීරණයක් අනුව වසරකට මාසය බැගින් මෙසේ පාරිතෝෂික ගෙවා තිබෙන බවද එම නිසා 2007 සිට 2023 දක්වා වසර 16 ක් සෑම සේවකයෙකුටම හිමි පාරිතෝෂික මුදල මෙන් දෙගුණයක් ගෙවා තිබෙන බවද එහි සදහන්ය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරියේදී මෙම වරද නිවැරදි කර ගන්නා බවට සිය නිරීක්ෂණ ලබා දී ඇතැත් වැරදි ආකාරයෙන් ගෙවන ලද රුපියල් මිලියන ගණනක මුදල් සම්බන්ධයෙන් වෛද්‍ය සභාව කිසිදු පැහැදිලී කිරීමක් කර නැත.
වෛද්‍ය සභාවේ සේවකයින් සදහා 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මාසික වැටුප් භාගයක් හා දෙසැම්බර් මාසයේදී සම්පූර්ණ මාසික වැටුපක් සාමාන්‍ය මාසික වැටුප් වලට අමතරව බෝනස් ලෙස සියළු සේවකයින්ට ගෙවා තිබෙන බවත් මෙසේ ගෙවන ලද මුදල රුපියල් 16,16,661/- ක් බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. 2018.07.18 දිනැති අංක 03/2018 දරණ කළමණාකරන චක්‍රලේඛණයේ 02 ඡේදය අනුව වැටුප් හා දීමනා පිළිබදව තීරණය කිරීමේ බලය පාලක මණ්ඩල වෙත ලබා දී නොමැති බවත් සියළු අමතර ගෙවීම් හා දීමනා සදහා කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බවත් අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සේවක සංඛ්‍යාව, බදවා ගැනීමේ යෝජනා ක්‍රමය, වැටුප් ව්‍යුහය සහ දීමනා සදහා කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවත් 2023 දෙසැම්බර් 31 දින වන තෙක්ම වෛද්‍ය සභාව එවැන්නක් කර නොමැති බවද අදාල විගණන වාර්තාවේ සදහන් වේ.
සියළු ගෙවීම් සහතික කල වවුචර් සදහා පමණක් කල යුතු වුවත් 2023.12.31 දක්වා ගෙවීම් චවුචර් නියැදි පරීක්ෂාවේදී වෛද්‍ය සභාව අවස්ථා 22 කදි රුපියල් 69,22,850/- ක් සහතික නොකල වවුචර් සදහා ගෙවීම් කර තිබෙන බවද විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ. සියළු චෙක්පත් ඇණවුමට පමණක් ගෙවිය යුතු සේ ලියා රේඛණය කල යුතු වුවත් ඊට අනුකූල නොවන පරිදි අවස්ථා 90 කදී රුපියල් 14,99,4066/- ක විවෘත චෙක්පත් නිකුත් කර තිබූ බවද විගණන නිලධාරීන් සිය වාර්තාව මගින් පෙන්වා දි ඇත.
විවෘත චෙක්පත් නිකුත් කරන්නේ නම් මුදල් රෙගුලාසි 386 (6) අනුව මාණ්ඩලික නිලධාරියෙකුගේ විශේෂ බලයක් අවශ්‍ය වන බවත් වෛද්‍ය සභාව මෙම විවෘත චෙක්පත් නිකුත් කිරීමේදී එවන් නිර්දේශයක් ලබා ගෙන නොතිබූ බවත් සිය විගණන වාර්තාවේ සදහන් කර ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ 23/1/අ වගන්තියට අනුව තොරතුරු නිලධාරියෙකු පත් කිරීමටද වෛද්‍ය සභාව 2023 දෙසැම්බර් 31 දින දක්වා පියවර ගෙන නොතිබූ බවද මෙම විගණන වාර්තාවේ සදහන් කර ඇත. රජයේ නිලධාරීන්ගේ රාජකාරි කල යුතු සාමාන්‍ය කාර්යාල වේලාව සියළුම වැඩ කරන දින වලදී පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා වුවත් වෛද්‍ය සභාවේ සේවකයින් පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා සේවය කර තිබෙන බවද විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රයේ XXVlll වැනි පරිච්ඡේදයේ 1.1 වගන්තියට අනුව වෙනත් අන්දමකට නියම කර නොමැති අවස්ථාවලදී හැර සියළු සේවකයින් පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා සේවය කල යුතු බවද අදාල විගණන වාර්තාව මගින් ජාතික විගණන කාර්යාලය ශ්‍රී ලංකා වෛද්‍යය සභාවට පෙන්වා දී ඇත.
මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් කඩිනම් පිළියම් වෛද්‍ය වෘත්තීය සමිති වලට යට නොවී ක්‍රියාවට නංවන ලෙස නව සෞඛ්‍යය අමාත්‍යවරයාගෙන් සෞඛ්‍යය සේවකයින් මෙන්ම මුළු පොදු මහත් ජනතාව ඉල්ලා සිටිති.