වෙළෙඳ පොළේ පවතින නාඩු, සම්බා හා කීරි සම්බා වී මිලට අනුව රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන සහල් මිලට වෙළෙඳ පොළට සහල් නිකුත් කළ නොහැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති.
මේ නිසා වෙළෙඳ පොළ තුළ පවතින වී මිලට අනුව සහල් මිල සංශෝධනය කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට කර්මාන්තය කරගෙන යාමට නොහැකි වන බවද පෙන්වා දෙයි.
මීට අදාළ යෝජනාව ඉදිරියේදී රජයට භාර දීමට සැලසුම් කළ තිබුණු බවද පෙන්වා දෙයි.
රජයේ සහතික මිල අනුව නාඩු වී කිලෝවකට රුපියල් 120ක් හා සම්බා වී කිලෝවකට රුපියල් 125කුත්, කීරි සම්බා කිලෝවකට 13කුත් නියම කර තිබෙන බවද සඳහන් කරයි.
එහෙත් ගොවීන් තෙත නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 110ත් රුපියල් 115ත් අතර මුදලක් බලාපොරොත්තු වන බවත්, මෙම මුදලට අඩුවෙන් ගොවීන් වී ලබා නොදෙන බවද සඳහන් කරයි.
මෙම මුදලට නාඩු වී කිලෝවක් ලබා ගෙන වියළි තත්ත්වයට පත් කළ පසු නාඩු වී කිලෝවක වටිනාකම රුපියල් 130ත් රුපියල් 135ත් අතර මුදලක් වන බවත්, කිරී සම්බා තෙත වී කිලෝවක් රුපියල් 130ත් රුපියල් 135ත් බවත්, වියළි තත්ත්වයට පත් කළ පසු වී කිලෝවක වටිනාකම රුපියල් 160ක් හා සම්බා තෙත වී කිලෝවක් රුපියල් 122ත් රුපියල් 125ත් අතර මුදලක් වන බවත්, වියළි තත්ත්වයට පත් කළ පසු වී කිලෝවක වටිනාකම රුපියල් 150ක් පමණ වන බවද පෙන්වා දෙයි.
දැනට ප්‍රකාශයට පත්කර තිබෙන සහල් මිල සකස් වී තිබෙන්නේ රජයේ සහතික වී මිල අනුව බවත්, මේ අනුව කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල්
240 ක් සහ කීරි සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 260ක් වන බවද සඳහන් කරයි.
එහෙත් මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට සිදුවන්නේ රජයේ සහතික මිලට වඩා වැඩියෙන් බවත්, මෙම මුදලට වී මිලදී ගෙන පාලන මිලට සහල් ලබා දීමට නොහැකි බවද පෙන්වා දෙයි.
ගොවිබිම්වලට ගොස් වී මිලදී ගැනීමට සිදුව තිබෙන බවත්, මේ නිසා ප්‍රවාහන වියදම් ඉහළ යාම හා සියයට දහඅටත් විස්සත් අතර ප්‍රමාණයක පවතින තෙත ගතිය ඉවත් කර ප්‍රමිති තත්ත්වයට පත්කර ගැනීමටත් යම් මුදලක් වැය වන බවද සඳහන් කරයි.
දෛනිකව අවශ්‍ය වන සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා වී කිලෝ කෝටියක් අවශ්‍ය වන බවත්, එහෙත් තවමත් වෙළෙඳ පොළට දෛනිකව ලැබෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක් බවත්, මේ නිසා වී මිලදී ගැනීමේදී තරගයක් ඇති වී තිබෙන බවත්, මේ අනුව ගොවීන් සඳහන් කරන මුදලට වී මිලදී ගැනීමට සිදුව තිබෙන බවද සඳහන් කරයි.
දෛනික සහල් අවශ්‍යතාවයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් ලබාදෙන බවත්, පවතින තත්ත්වය තුළ දෛනිකව සහල් නිකුත් කිරීම අඩු වී තිබෙන නිසා ඇතැම් සහල් වර්ගවල හිඟයක්ද ඇති වී තිබෙන බවද පෙන්වා දෙයි.
බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළීම් අවසන් වෙමින් තිබෙන බවත්, ඉදිරියේදී වැඩි වශයෙන් වී ලැබීමට තිබෙන්නේ පොළොන්නරුව, අනුරාධපුර වැනි සීමිත ප්‍රදේශවලින් පමණක් බවද සඳහන් කරයි.