වූහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා සිසුන්ගෙන් මේ දක්වා කිසිවෙකුටවත් රෝගය ආසාදනය වූ ලකුණු නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි. කොරෝනා රෝගය පිළිබඳව දෛනික වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
“මේ වන විට අප රටින් ස්ථීර වශයෙන්ම වාර්තා වී ඇත්තේ එකම එක කොරෝනා රෝගියායි. ඇයත් චීන ජාතික කාන්තාවක්. මේ වන විට එම රෝගියා සම්පූර්ණයෙන් ම සුවය ලබලා තිබෙනවා. ඒ රෝගියාගේ ජෛව සාම්පල MRI රසායනාගාරයට යනවා තිබෙන්නේ. එය අවසන් ජෛව සාම්පලය. එහි ප්‍රතිඵල ලැබුණු වහාම ඒවා හොඳ තත්ත්වයෙන් පවතිනවානම් රෝගියා වහාම රෝහලෙන් මුදවා හැරීමට කටයුතු කරනවා.
දැනට දියතලාවට ඇතුළු කරන ලද සිසුන් ඔවුන්ගේ පළමු දිනය නිමකරලා තිබෙනවා. තවත් දින 13 ක් ඔවුන්ට එහි රැදී සිටීමට සිදුවෙනවා. දිනපතා ඔවුන්ට පරීක්ෂා කරලා බලනවා. මේ වන විට කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු වාර්තා වෙලා නැහැ. මොවුන්ව ඉතා සුපරික්ෂාකාරීව බලාගන්නවා වගේම තව දින 13 කින් පසු රෝග ලක්ෂණ වාර්තා නොවුණහොත් ඥාතීන්ට භාරකරන්න බලාපොරොත්තු වෙනවා. අද (02 ) දිනය වන විට කිසිදු රෝගියෙක් අලුතින් රෝහල්වලින් වාර්තා වෙලා නැහැ.”