වී මිල සම්බන්ධව තමන් තවදුරටත් අසීරුතාවයට පත් නොකර යල කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කරමින් ගොවියාගේ වී මිලදී ගැනීමට වහාම රජය මැදිහත් වන ලෙස පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් 04 වෙනිදා වැලිකන්ද මොනරතැන්න වෙල්යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තිදෙනා හිතුමතේට තමන්ගේ වී අස්වනු කුණු කොල්ලයට ලබාගැනීමට රජය ඉඩ සලසා ඇති බවද එම ගොවීන් චෝදනා කළහ,
වර්තමානයේ පවතින වී මිල අනුව වි කිලෝවක් ලබාදී ලුණු පැකට්ටුවක්වත් ලබා ගැනීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, එමෙන්ම ගොවියාට අවශ්‍ය බුලත් විටක්වත් ලබාගැනීමට නොහැකි මට්ටමට වී මිල පහත වැටී ඇති බව මහවැලි බි කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු උපසභාපති ඩබ්ලිව්.ජී තිලකරන්න මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු සියයට විස්සක පමණ ප්‍රමාණයක් වී අස්වනුත් නෙලා අවසන් වුවද වී අලෙවි මණ්ඩලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිදු ගබඩාවක් මෙතෙක් විවෘත නොකිරීම කනගාටුවට කරුණක් බවද තිලකරන්න මහතා සඳහන් කළේය.
ගොවියාට වී ගොවිතැන කරුමයක් වී ඇති බවත්, වී අලෙවි මණ්ඩලය සුදු අලියෙක් බවට පත්ව ඇති බවත්, වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමානයේ මිල ගණන් අනුව රුපියල් 102 ත් 105 ත් අතර වියදමක් දැරීමට සිදුවුවද, වර්තමානයේ වී ගොවියා පිළිබඳ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු වචනයක්වත් කතා නොකරන බව මෙහිදී අදහස් දැක්වූ සේනපුර කොට්ඨාශයේ ගොවි සංවිධානයේ හිටපු සභාපති කපිල සිරිල් පතිරණ මහතා කීවේය.
මෙවර සමස්තයක් ලෙස මහවැලි බි කළාපයේ ගොවි පවුල් 25,000 කට ආසන්න ප්‍රමාණයක් අක්කර 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කර තිබෙන බවත්, ඉන් අක්කර 19,000 ක ප්‍රමාණයක් කීරි සම්බා වගාකර ද ඒවා මිලදී ගැනීමට කිසිදු පෞද්ගලික වෙළෙන්දෙක් ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් ,එවැනි තත්ත්වයන් යටතේ බැංකු වලට ණය වී, වී වගා කළ ගොවියාට ණය ගෙවා ගැනීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, මෙම තත්ත්වය යටතේ ගොවියා කබලෙන් ලිපට වැටී ඇති බවද, මෙහිදී අදහස් දක්වමින් සෙවනපිටිය කොට්ඨාසයේ හිටපු ගොවි සංවිධාන සභාපති ජයලත් ගුණසිංහ මහතා තම ආවේගය පිටකරමින් සඳහන් කළේය.
රජය වී මිල සම්බන්ධව තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන 153 ක ගොවි නියෝජිතයින් සහ ගොවීන් එක්ව ඊට නිසි පිළිතුරක් ලබාදෙනු ඇති බවද ජයලත් ගුණසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.
මනම්පිටිය නිමල් ජයරත්න