ගොවි විශ්‍රාම වැටුප් ලැබිය යුතු වයස අවු.60 වයස සම්පූර්ණ වූ ගොවීන් 264,228 දෙනෙකුට එම වැටුප් ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මඟින් නොවැම්බර් මස 12 වැනි දින නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. එම විගණන වාර්තාවට අනුව ගොවි විශ්‍රාම වැටුප් සඳහා ලියාපදිංචි වි ඇති ගොවීන් සංඛ්‍යාව871,425කි. 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට වයස අවු.61 සිට අවු.93 දක්වා වයස් ගත වූ ගොවීන් සංඛ්‍යාව 474,803කි.
2022 වර්ෂයේ දී අවු.60 සම්පූර්ණ කළ විශ්‍රාම වැටුප හිමි විය යුතු ඉල්ලුම් පත් එවා නොමැති දායකයන් සොයා විශ්‍රාම වැටුප් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයේ සියලුම දිස්ත්‍රික් හා සහකාර අධ්යක්ෂවරුන් වෙත ලිඛිතව දන්වා තිබේ. එහෙත් දිස්ත්‍රික් කාර්යාල 12ක නියැදි පරීක්ෂා කිරීමේ දී ඉන් දිස්ත්‍රික් කාර්යාල 06 ක් එම ලිඛිත දැනුම් දීම අනුව කටයුතු කර නොමැති බව අනාවරණය වේ. වයස අවු.60 සම්පූර්ණ කළ විශ්‍රාම වැටුප් අනුමත නොකළ දායකයන් සඳහා හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස විගණනය මගින් නිර්දේශ කර තිබේ.
වයස අවුරුදු 60 සම්පූර්ණ වී මෙතෙක් ගොවි විශ්‍රාම වැටුප් ලබා නොගත් ගොවීන් මේ වන විට දැනුවත් කර ඇති අතර සියලුම දිස්ත්‍රික් කාර්යාලවල සහකාර අධ්යක්ෂවරුන් මෙම කටයුත්ත ප්රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කර ඇති බැව් ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනා ක්‍රමයෙන් කළමනාකාරිත්වය විගණනයට සඳහන් කොට ඇත. ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනා ක්‍රමය පිළිබඳව 2023 වර්ෂයට අදාළ ව මෙම විගණන වාර්තාව නිකුත් කර තිබේ.
චන්දන සමරවික්‍රම