පශ්චාත් උපාධි ආදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාලවල මුදලින් විදේශගතව එම මුදල් නොගෙවා නැවත රටට නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 486 දෙනාගේ නම් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය
මේ ආකාරයට විදෙස්ගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මේවනවිට රුපියල් මිලියන 813ක් අයවිය යුතුව ඇති බවත්,මෙම මුදල් අයකරගැනීමට නීතිමගින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී ඊයේ(30දා) පැවති මාධ්‍යහමුවකදී අමාත්‍යවරයා මේබව පැවසීය.
“මේවනවිට අපේ විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව අරගෙන පශ්චාත් උපාධි ආදී උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවී ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 486ක් නැවත නොපැමිණීම නිසා එම මුදල් අපේ විශ්වවිද්‍යාල පද්ධතියට අයවිය යුතුව තිබෙනවා.
ඒ ආකාරයට දැනට ලැබීමට නියමිත මුදල රුපියල් මිලියන 813යි. ඒ අතරින් ඇතැම් ඒවාට ඇපකරුවන්ට සහ සමහහර ආචාර්යවරුන්ට නඩු පවරලා තිබෙනවා. අනිකුත් ආචාර්යවරුන් සම්බන්ධයෙනුත් නඩු පවරන්න අපි උපදෙස් දීලා තිබෙනවා.
මේවා එක එක විශ්වවිද්‍යාල වෙනවෙනම ආචාර්යවරුන් එක්ක ඇතිකරගත්තු ගිවිසුම්. නමුත් මේ ක්‍රියාවලිය තුළ දුර්වලකමක් දැකපු නිසා අපි තීරණය කළා මින් ඉදිරියට මහජන මුදලින් විදේශ ශිෂ්‍යත්ව ලබාදිමේදී ගිවිසුම් අත්සන් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එක ඒකකයක් ඇතිකරන්න.
ඒ අනුව ඔවුන් ගිවිසුම් පැහැරහැරීම් සිදුවන වහාම නීතිමය පියවර ගන්නටත් පහසුවෙනවා. මේ විදිහට මහජන මුදලින් විදෙස්ගතවී නැවත නොපැමිණීම රටට කරන ලොකු පාඩුවක් විදිහටයි අපි සලකන්නේ. ඒනිසා මේ නම් ලැයිස්තුටික ප්‍රසිද්ධ කරන්න අපි බලාපොරොත්තුවෙනවා" යැයි සඳහන් කළේය.
