පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සියලු දෙනා යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පළාත් පාලන සංසදය පවසයි.
දැනට විපක්ෂනායක ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාබවත්,ඊටපසුව සිටින පුද්ගලයා කුමාර වෙල්ගම මහතා පමණක බවත් එහි සභාපති උදේනි අතුකෝරළ මහතා ඊයේ (29දා) සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සියලු දෙනා ඒ සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බවත්, දිවයින පුරා සිටින අනෙකුත් පළාත් පාලන ප්‍රධානීන්ගේ යෝජනාද සම්මත කරගැනීමට කටයුතු යොදා තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපකෂයේ සිටින පැරණිම දේශපාලනඥයෙකු වන කුමාර වෙල්ගම මහතා අවුරුදු 36ක් දේශපාලනයේ නිරතව තිබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන බවත් අතුකෝරල මහතා සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව පිහිටු වූ පසු එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ දේශපාලනය කිරීමට නොහැකි බව පවසමින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ප්‍රථමයෙන් එළියට පැමිණියේ වෙල්ගම මහතා බවත්,ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිට ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග ළඟින් ඇසුරු කළ බවත් සභාපතිවරයා කීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී උදේනි අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන සංසදයේ ඉල්ලීම පිළිගනු ඇතැයි පළාත් පාලන ප්‍රධානීන් සියලු දෙනා විශ්වාස කරන බවයි.
