ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතික වෙළෙඳ නාවිකයන් 23දෙනෙකුට හා ශ්‍රී ලාංකික නාවිකයන් හයදෙනෙකුට කෝවිඩ් -19 ආසාදනය වී තිබීම හේතුවෙන් විදේශීය නාවිකයන් හා කාර්යමණ්ඩල විශේෂ ගුවන්යානා මගින් මෙරටට ගෙන්වීම තාවකාලික නවතා දැමීමට රජය තීරණය කර තිබේ.
විදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ඉන්දියාවේදී පීසීආර් පරීක්ෂණ සිදු කර එම පරීක්ෂණ වාර්තාවලින් කෝවිඩ් - 19 ආසාදිතයන් නොවන බවට තහවුරු කරගත් වාර්තාද සමගින් මෙම නාවිකයන් පිරිස මෙරටට පැමිණ තිබුණත්, මෙරටට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපළදී කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් එම පිරිස අතරින් 29 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බව විදෙස් කටයුතු පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
'අද' කළ විමසීමකදී මේ පිළිබදව අදහස් දක්වමින් කොළඹගේ මහතා පවසා සිටියේ, මෙරට නවතා ඇති නැව්වල සේවය කරන නාවිකයන් හා කාර්ය මණ්ඩල නිවාඩු යෑමේදී ඔවුන් වෙනුවට සේවයට කැඳවන නාවිකයන් හා කාර්යමණ්ඩල පැමිණීම මෙරට කෝවිඩ් - 19 ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා බලපෑමක් විය හැකි බැවින්, ඔවුන් පැමිණීම මෙලෙස තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බවයි.
මේ වන විටත් සිවිල් ගුවන් සේවා අධිකාරියට මේ පිළිබඳව දැනුම් දී ඇති බවද කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.