විදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ඒ අනුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්වී ඉතා කෙටි කාලයක් තුළ විදුලි බිල, ඉන්ධන හා ආහාර මිල අඩු කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය ගොඩනගා එහි ප්රතිලාභ ජනතාවට ගලාගෙන එනතෙක් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර අවසන් බවද හෙතෙම කීවේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25දා) කොළඹදී පැවති ජාතික ජනබලවේගයේ ජාතික කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ පාසල් පද්ධතිය තුළ ඇති විෂමතාවය ඉවත් කර, සෑම දරුවෙකුටම අධ්‍යාපන ලැබිය හැකි ලෙස පාසල් පද්ධතිය සංවර්ධනය කරන බවත් ඒ අනුව පාසලක් සඳහා දරුවෙකුට යා හැකි උපරිම දුර කිලෝමීටර් 3ක් බවට පත් කරන බවයි.
“අම්මලා උදේ නැගිටලා, දරුවට අන්දලා, කවලා පාසල් වෑන් රථයට පටවන එක අපි නතර කරනවා. වෑන් එකට නගිනවා නෙමෙයි පටවනවා. වෑන් එකට නගිනකොටත් නිදි, බහිනකොටත් නිදි. මොන ජීවිතයක්ද මේ. අපි පාසල් පද්ධතිය තුළ ඇති වී තිබෙන විෂමතාවය ඉවත් කර සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකි ලෙස පාසල් සංවර්ධනය කරනවා. දරුවෙකුට පාසලක් සඳහා යා හැකි උපරිම දුර කිලෝමීටර් 3යි. දැන් ජපානය වගේ රටක් ගත්තොත් ඔවුන් පදිංචිය මාරු කරනවා නම්, ඒ ආසන්න පාසලකට දරුවව දානවා. අපේ රටේ පාසලකට දාගන්න පදිංචිය මාරු කරනවා. අපේ රටේ ඉස්කෝලයක් හොයා ගන්න පදිංචිය මාරු කරනවා. එක දරුවෙක්වත් අතහරින්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් හදනවා.
ආර්ථිකයේ කොටස අපි විසඳන්නම ඕන. අපේ රට දුප්පත්. ආණ්ඩුවක් විදියට ගත්තත් මේ රටේ ආණ්ඩුව ඉතාම දුප්පත්. වැටුප් ගෙවාගන්න විදියක් නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගේන්න බෑ. ණය ගෙවාගන්න බෑ. ඒ ආර්ථික අර්බුදය ඔබේ කුස්සියටත් බලපානවා. ඒ නිසා ඔබත් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා. රටේ ජනතාවගේ වේදනාවන්ගේ විශාලම පංගුව දුප්පත්භාවය. රජයක් විදියට පියවරෙන් පියවර පෙළ ගස්වලා තියෙනවා කොහොමද මේ රට පෝසත් කරන්නේ කියන එක. රට පෝසත් වුණාම ආණ්ඩුව පෝසත් වෙනවා, ආණ්ඩුව පෝසත් වුණාම රටේ මිනිස්සු පෝසත් වෙනවා.
මේ රට ගොඩගන්න කල් අපි ජනතාවට ආහාර දෙන්න ඕන. රට ගොඩනගලා ඒකේ ප්රතිලාභ ගලාගෙන එනකල් ගෙදර උයන්න එපා කියන්න අපිට බෑනේ. රට සංවර්ධනය වෙනකල් බෙහෙත් ටික ගන්න ඉන්න කියන්න බෑනේ. ඒ නිසා ආහාර ගන්න අසමත්, බෙහෙත් ගන්න අසමත්, දරුවන්ට උගන්වන්න අසමත් පවුල් ඉන්නවා නම් ඒ පවුලකට රට ගොඩගන්න කල් අවම රුපියල් 10,000ක දීමනාවක් ලබාදෙනවා. ගොඩක් අපහසුතා වැඩිනම් 15,000ක් ලබාදෙනවා. රට හදනකල් අපි ඒ අයට ශක්තියක් වෙන්න සූදානම්. ආහාර, සෞඛ්‍ය මත හෙලා තිබෙන වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන්න පුළුවන්. ආර්ථිකය ගොඩනගා එහි ප්රතිලාභ ජනතාවට ගලාගෙන එන තෙක් එහි ප්රතිලාභ ජනතාවට ලැබෙන සහන වැඩපිළිවෙලක් සකස් කර අවසන්.
ව්‍යවසායිකාවන් වීමට කැමති කාන්තාවන් සඳහා තමන්ගේ ව්‍යාපාර යෝජනාව ඉදිරිපත් කළ පසු, ඒ පිළිබදව ශක්‍යතා අධ්‍යයනයක් කර එම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳව පූර්ණ නිගමනයකට එළඹීමෙන් පසු ආණ්ඩුව විසින් බැංකුවට ඇප වෙනවා ඇයට මෙම ණය මුදල ලබා ගැනීම සඳහා. එහිදී දේපළ ඇපයක් හෝ වෙනත් උගසක් තැබිය යුතු නෑ. ආණ්ඩුව ඇප වෙනවා මේ පුද්ගලයාට මේ ව්‍යාපාරය කරලා සාර්ථක වෙන්න පුළුවන්, ණය ගෙවන්න පුළුවන් කියන එකට. ඒ කරලා අපි නිකං ඉන්නේ නෑ. ඔබේ ව්‍යාපාරය පිළිබඳව අධීක්ෂණය කරනවා. යම් කාලයක් තුළ ඔබ සාර්ථක වෙලා නැත්නම් අපි ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහාද ඔබට උදව් කරනවා. ඒ සදහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.