රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි රූමත් පාසල් සිසුවියක් විදුලි සැර වැදී අවාසනාවන්ත අයුරින් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල , දූව වත්ත පාර , 5 වෙනි පටු මඟ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන (2025 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි) නිශානි පියුමිකා වැන්රෝවන් සිසුවියයි.
මියගිය සිසුවියගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ දෙසැම්බර් පළමුවැනි දින අභිරහස් ලෙස මියගොස් තිබූ අතර ඔහුගේ දේහය 2024 ජනවාරි 01 වෙනිදින මෙරටට එවීමෙන් අනතුරුව ඒ වන විට විදේශගතව සිටි මවද මෙරටට පැමිණ අවමංගල කටයුතු නිමවීමෙන් අනතුරුව යළි සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි.
මියගිය සිසුවිය සහ ඇයගේ වයස අවුරුදු හයක නැගණිය මිත්තණියගේ රැකවරණය යටතේ පසුවී ඇති අතර ඊයේ (11) සිය නැගණිය පාසල් යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි සිසුවිය සති දෙක තුනක පමණ කාලයක සිට අක්‍රීය තත්වයේ තිබූ රෙදි මැසීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ දරා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී රෝගී තත්ත්වයේ පසු වු මිත්තනිය යාබද කාමරයේ නින්දේ පසුවී ඇති අතර සිසුවිය රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය හා වයරය සම්බන්ධ විදුලි පේනුව රෙදි මැසීමේ යන්ත්‍රය තබා තිබෙන කාමරයේ බිත්තියට සවිකර තිබෙන කෙවෙනියට සම්බන්ධ කිරීමට උත්සාහ කලද එය හතරැස් කෙවෙනියක් බැවින් ඊට සම්බන්ධ කිරීමට නොහැකි වූ තැන ඇය වයර් කෝඩ් එකක් ගෙන රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය හා සම්බන්ධ විදුලි පේනුව සම්බන්ධ කර විදුලිය ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
අනතුරුව සිසුවිය රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය හා වයරය සම්බන්ධ පේනුව කොටස කපා ඉවත් කර එමගින් අනාරක්ෂිත අයුරින් පාදා ගත් වයර් කොටස් දෙක හතරැස් කෙවෙනිය තුළට ඇතුළු කර විදුලිය ගැනීමට උත්සාහ කිරීමේදී අනපේක්ෂිත ලෙස ලෙස විදුලි සැර වැදි මෙම අනතුර වී ඇති බව පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා සිදුකළ ස්ථානීය පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි
රෙදි මැසීමේ යන්ත්‍රය අසල කපන ලද පේනුවේ කොටස ,නියනක් මෙන්ම ඊට මඳක් ඈතින් වයර් කෝඩ් එකක් බිම වැටී තිබෙන අයුරු දක්නට ලැබිණි
සිසුවියට විදුලි සැර වැදීමත් සමගම ඇය මහා හයියෙන් " අයියෝ " යනුවෙන් කෑ ගසා ඇති අතර එම ශබ්දය ඉදිරිපිට නිවසේ අසල්වාසී කාන්තාවකට ඇසී නිවස තුළට පැමිණ සිදුකළ පරික්ෂාවේදී සිසුවිය කාමරයේ රෙදි මැසිමේ යන්ත්‍රය අසල උඩුපිළි අතට වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි
එසැනින් වහා ක්‍රියාත්මක වූ එම කාන්තාව යාබද කාමරයේ සිටි මිත්තනියට එම ස්ථානයට නොයන ලෙස පවසා ඒ ආසන්නයේ පුද්ගලික ආයතනයක හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව එම අය පිරිසක් සමග පැමිණ නිවසේ විදුලිය විසන්ධි කර සිසුවිය පිළියන්දල දිසා රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් තිබූ අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි වෛද්‍යවරු පරික්ෂා කර දැනුම් දී තිබූ බව පොලිසිය කියයි
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශීක්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි