විදුලි බිල අඩු වීමට සාපේක්ෂව ජල ගාස්තුද අඩු කළ හැකි වන පරිදි මිළ සූත්‍රයක් ඉතා ඉක්මනින් හදුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවැති සාකච්ඡාවකදීය.
එම ආයතනයේ සම්බන්ධීකරණයෙන් මහජනතාව සඳහා සෞඛ්‍යමත් පරිපූර්ණ පානීය ජලය ලබාදීම, පර්යේෂණ විධිමත් කිරීම සහ අපජල ප්‍රවාහනය විධිමත් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා වීය.
එහිදී තව දුරටත් අදහස් පළ කළ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා, ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි වනු ඇති බවත් කීය.
බලශක්තිය සඳහා වැය වන පිරිවැය අඩු කිරීම මගින් ජල සම්පාදන පිරිවැය අඩුවී ජල ගාස්තු අඩු කළ හැකි යැයි ද ඒ මහතා පැවසීය. 2019 ජනවාරි මසදී විදුලි ගාස්තු 66%කින් ඉහළ ගිය විට ජල ගාස්තු ද ඉහළ නැංවිය යුතු යැයි සඳහන් කළ බව කී ඒ මහතා විදුලි බිල 50%කින් අඩු කිරීම මගින් ජල ගාස්තු ද සැලකිය යුතු මට්ටමකින් පහත හෙළිය හැකි යැයිද කීවේය.
ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මිදෙමින් ඇතැයි පෙන්වා දුන් හෙතෙම ශ්‍රී ලංකාව යථා තත්ත්වයට යොමු කරන මාවතක ගමන් ගන්නා බව ද කීවේය. ගෝලීය පරිමාණයෙන්, මෙම කලාපයේ ප්‍රකෘතිමත් ආර්ථිකයක් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඇතමුන් ජනාධිපතිවරණයක් ද තවත් පිරිසක් මහ මැතිවරණයක් ද ඉල්ලා සිටින නමුත් කුමන මැතිවරණක් එළැඹියත් ඔනෑම මැතිවරණයකට උචිත අයුරින් ශ්‍රී ලංකාව දැන් ගොඩනැගෙමින් ඇතැයි ද ඒ මහතා කීහ. පැය ගණන් විදුලිය විසන්ධි වූ, ගෑස්, ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි යුගය නිමා වී ප්රකෘතීමත් ආර්ථීකයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද අමත්‍යවරයා මෙහිදී කීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මහනුවර මොහොමඩ් ආසික්