විදුලිය බිඳවැටීමට වඳුරන් පැනීම ඇතුළු විවිධ හේතු සඳහන් කරමින් ආණ්ඩුව උත්සාහ කරනුයේ සූර්ය බල විදුලියට පහරක් එල්ල කර නැවත ගල්අඟුරු බලාගාර ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කරවීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව ආණ්ඩුව වහාම විදුලි පද්ධතිය බිඳවැටීමට සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බවත්, එමෙන්ම මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් ජනතාවට වන්දි ලබාදිය යුතු බවත් ‘අද’ පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“මුලින්ම කිව්වා වඳුරෙක් පැනලා පානදුරේ ග්‍රිඩ් උපපොඵ බිඳවැටුණා, ඒකෙන් තමයි මේ අසමතුලිතතාවය ආවේ කියලා. දෙවනුව 2021-2023දී බ්ලැක්වුට් වුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ ආණ්ඩුවේ වරදින් සිදු වුණේ ජනාධිපතියි, ඇමතියි වගකියන්න ඕනි කියලා. කෝටි ගණන් මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා සිස්ටම් කන්ට්‍රෝල් එකක් හදලා තියෙනවා පැලවත්තේ.
මේවාගේ සිද්ධි ඇති වුණාම සමතුලිතතාවය ඇති කරන්න තමයි ඒක ගෙනත් තිබෙන්නේ. ඒ වගේම පසුගිය මාස ගණනාව පුරා මේ සූර්ය බල පද්ධතිය නිවාඩු දවස්වලට රටේ විදුලිය සපයනවා. ඒක ඉතාම හොඳ ලකුණක්. දැන් මේ සූර්ය බල කට්ටල ටිකට ගහලා ගල්අඟුරු ටික නැවත ඉදිරියට ගේන්න හදන විදිහේ කතාවක් තමයි මේ කරන්නේ.
සූර්ය බල ශක්තියයි, සුළං බලයයි මෙගාවොට් 2600ට වැඩිය උකහා ගන්න පුළුවන් කියලා, ලංකා විදුලිබල මණ්ඩලයේම පද්ධති සමතුලිතතාවය රැකගෙන කරගන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරලා 2023දී හිටපු සාමාන්‍ය අධිකාරිවරයා. එතකොට එතුමා වැරදියිද? තවම 1000 තියෙන්නේ. 2600ක් නෙවෙයි. මේ උත්සාහ කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ සූර්ය බල පද්ධතිය වට්ටන්න යන්නේ.
ඒකට මේ කටකතා හදන්නේ. විදුලි බිඳවැටීම් වෙන්න පුළුවන්. නමුත් රටක බ්ලැක්වුට් වෙන්න බෑ. ඒකට අපි ගෙවනවා. ස්ථාවර ගාස්තු කියලා කොටසක් ගෙවන්නේ ඕකට. ස්විච් එක දැම්මම ලැයිට් තියෙන්න. ඒ නිසා පළවෙනි එක මේකට වගකිව යුත්තන්ට දඬුවම් දෙන්න ඕනි. ඒකයි වහාම සිස්ටම් ඔපරේට් කරපු අයට දඬුවම් දෙන්න ඕනි. දෙක තමයි මේ පිළිබඳ මහජනයාට වුණු පාඩුවට වන්දි ගෙවන්න ඕනි. තුන තමයි නොරොච්චෝලේ බලාගාරයයි, සූර්ය බලයයි එක්ක කොහොමද නිවාඩු දවසේ දිවා කාලයේ ගෙනියන්නේ කියලා යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඒවා ක්‍රියාත්මක කරනවා මිසක් අතීතයට දොස් කියලා හරියන්නේ නෑ. මේ ජනාධිපති කළේ මොකක්ද? සහල් ප්රශ්නය ආවම සුරතල් සතුන් නිසා මේ ප්රශ්නය ආවා කිව්වා. පොල් ප්රශ්නය ආවම ඇමතිලා කිව්වා රිළව් නිසා මේ ප්රශ්නය ආවා කියලා. මේ වගේ ළාමක උත්තර දෙමින් යනවා. මොකද හේතුව මේ ආණ්ඩුවේ නායකයන්ට ජනාධිපතිගේ ඉඳන් නිලධාරීන් කියන දේට ඔබ්බට ගිහින් මේ ප්රශ්නවල ගැඹුර තේරුම් ගෙන උත්තර හොයන්න නොහැකියාවක් තියෙන නිසා.”