මේ දිනවල පවතින අධික රස්නය නිසා නිවසේ අක්රීයව තිබූ විදුලි පංකාවක් අනාරක්ෂිත විදුලි සැපයුමක් හරහා අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයකුට විදුලි සැර වැදී ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කොට්ටාව පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව කුඩා වස්කඩුව සමගිපුර පදිංචි විජයතුංග මුදියන්සේලාගේ ප්රභාත් කවිෂ්ක විජයතුංග (22) හැවිරිදි විවාහකයෙකු බව පොලිසිය කියයි.
ඒ අනුව (17) දා සේවය නිමවා නිවසට පැමිණ රාත්රී නින්දට යාමේදී අධික රස්නය නිසා විදුලි පංකාව ක්රියාත්මක කිරීමේදී එය අක්රිය වී තිබීම නිසා අනාරක්ෂිත විදුලි සැපයුමකින් විදුලිය ලබාගෙන එය කොටස් කර අලුත්වැඩියා කිරීමට ගොස් තිබේ.
එම අවස්ථාවේදී දෙවරක් විදුලිසර වැදී ඇති අතර පළමුවර අනතුරක් නොවූ නිසා යළිත් වරක් විදුලි පංකාව අලුත්වැඩියා කරමින් සිටියදී මෙසේ විදුලිසර වැදී ඇති අතර පසුව එහි සිටි බිරිඳට මියගිය පුද්ගලයා පවසා ඇත්තේ ඉක්මනින් ටිප් ස්විචය අක්රීය කරන ලෙසයි.
එහෙත් එය ක්රියා විරහිත වී තිබීම නිසා මෙසේ විදුලිසරවැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම මිනිසුරු මානෙල් ගමගේ මහත්මිය පැමිණ ස්ථානය පරීක්ෂණයක් සිදුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ටිප් ස්විචයක් වත් නොමැති මෙම අනාරක්ෂිත විදුලි සැපයුමෙන් විදුලිය ලබාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.
ඒ අනුව කුලී පදනම මත නිවස ලබා දුන් එහි හිමිකරු කැඳවා ප්රකාශයක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබේ.
මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය විසින් සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාසන වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (96842) කුමාරතුංග නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න