ගාල්ල සිට ඇල්ල වැල්ලවාය හරහා හපුතලේ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද 13 හපුතලේ බණ්ඩාරවෙල උඩපාර ඔත්තෙකඩේ ප්රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් හය දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
තරුණයින් අට දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.
අද උදෑසන ගාල්ල සිට පැමිණි තරුණයන් අට දෙනෙකු ඇල්ල හරහා හපුතලේ දෙසට ගමන් ගන්නා අතර තුර බණ්ඩාරවෙල ඔත්තෙකඩේ ප්රදේශයේ වංගුවක දී වෑන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ප්රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
තේ වත්තක් මැදින් මෙසේ පෙරළී ගොස් ඇති වෑන් රථයට දැඩි අලාභ හානි සිදුවී තිබේ. ප්රදේශවාසීහු මැදිහත් වී තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. බණ්ඩාරවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.