වැලිපැන්න පොලිස් වසමේ මුස්ලිම් කොළණිය ප්‍රදේශයේ පදිංචි විවාහක දෙදරු මවක් විසින් පසුගිය දින අලුයම නිවසේ වැසිකිලියක් තුල බිළිඳෙකු බිහිකර ඇති අතර අනතුරුව නිවැසියන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් මව සහ බිලිඳා මතුගම වෑත්තෑව රෝහලට ගෙන ගියත් ඒ වන විට බිලිඳා මියගොස් තිබීම නිසා නාගොඩ රෝහලට යවා ඇත.
මීට මාස තුනකට පමණ පෙර මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය ඒ වන විටත් 44 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ 3 වන දරුවා ලෙස මෙම බිලිඳා බිහිවී ඇතත් තමන්ගේ කුසතුල දරුවෙකු පිළිසිඳ ගෙන ඇතිබව තමන් නොදන්නා බවත් ,සිද්ධිය වූ අවස්ථාවේ තමාට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇතිවූ නිසා වැසිකිලියට ගිය විටදී තම කුස තුලින් බිළිඳෙකු බිහිවී බිමට වැටුණු බවත් ඇය පොලිසියට පවසා ඇත.
තමා ගැබිණියක් බව නොදැන සිටි නිසා මෙම දරු ප්‍රසූතිය වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් හමුවට හෝ සායනයක් වෙත නොගිය බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.
මෙම ළදරු මරණය පිළිබඳව නාගොඩ රෝහලේ රෝහල් පොලිසිය විසින් වැලිපැන්න පොලිසියට දැනුම් දී ඇත. මෙම කාන්තාව තම ගැබිණි බව වසන්කර සිට රහසේ දරුවා බිහිකිරීමට යාමේදී මෙම ළදරු මරණය සිදුවී දැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මතුගම වැඩබලන මහේස්ත්‍රාත් කපිල වෛද්‍යතිලක මහතා විසින් මෙම ළදරු මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කර ඇත.
මෙම මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වැලිපැන්න පොලිස්යේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද.සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීන් සහ උප පොලිස් පරීක්ෂක කාන්ති මහත්මිය වදිසුර පරීක්ෂණ පවත්වයි.
බන්දු තඹවිට