මාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නොමැති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා හැර එම කොට්ඨාශයේ අනෙකුත් නිලධාරීන් හත්දෙනා අත්අඩංගුවට නොගන්නා බවට නීතීපතිවරයා දී තිබූ එකඟතාවය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළේය.
මාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අටදෙනකු ගොනුකොට ඇති පෙත්සම් කැඳවු අවස්ථාවේදී එලෙස නියම කළ අධිකරණය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම් ලබන 26 වැනිදා කැඳවීමටද නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පෙත්සම කැඳවු අවස්ථාවේ එලෙසනියම කළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් පෙත්සම්කාර පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වනතුරු අත්අඩංගුවට නොගන්නා බවට මීට පෙර දී තිබූ පොරොන්දුව තවදුරටත් දීර්ඝ කිරීමට එකඟ නොවන්නේ යැයි කීවාය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට කෙටි දිනයක් දෙන්නැයිද පෙත්සම්කරුවන් අත්අඩංගුවට නොගන්නා බවට දී ඇති පොරොන්දුව එතෙක් දීර්ඝ කරන්නැයිද ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්වලට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේ සැකකරුවකු වශයෙන් මෙතෙක් නම්කර නොමැති සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා පමණක් අත්අඩංගුවට නොගන්නා බවට නීතතීපතිවරයා අධිකරණයට දී තිබූ එකඟතාව ඊළඟ නඩු දිනය දක්වා දීර්ඝ කළ අතර සෙසු පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් එම එකඟතාව තවදුරටත් දීර්ඝ නොකිරීමටද නියෝග කළේය.
කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 26 වැනිදා කැදවීමටද නියම කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ දමින්ද විජයරත්න මහතා සමග ජනාධි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පෙනී සිටියේයවගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් මහේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
සචිත්ර ගුණසේකර