වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හල වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ වැඩ තහනම් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
කෙසේ වෙතත් එම වැඩ තහනම් නිවේදනය අද (07) සවස 6.00 වන තෙක්ම වැලිගම මූලස්ථාන පොලීසිය වෙත නිල වශයෙන් ලැබී නොතිබුණි.
එහෙත් එම ආරංචිය ලද විගස වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අද (07) සවස 2.00 ට පමණ “තමාට අසනීප බැවින් ප්‍රතිකාර ගැනීමට පොලිස් ස්ථානයෙන් බැහැරව යමි.”ලෙස සටහනක් යොදා සිය පුද්ගලික බඩු භාහිරාදිය ද රැගෙන නික්ම ගිය බව පොලිස් ආරංචී මාර්ග සදහන් කරයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඒ ගැන මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසා තොරතුරු ලබා ගන්නා ලෙසයි.
ඒ අනුව එම කාර්යාලයෙන් විමසූ විට කියා සිටියේ වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩ තහනම් කර ඇති බව දුරකතනයෙන් තහවුරු කර ගත් බවත් ඒ පිළිබඳව මාධ්‍ය ප්‍රකාශක වාර්තාව තව ටික වේලාවකින් නිකුත් කරන බවයි.
2023 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරිපිටදී වැලිගම පොලීසියේ නිලධාරීන් පාතාල කල්ලි සාමාජිකයින් යයි සිතා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් කොලඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීය.
එම සිද්ධියයට අදාල සටහන් නිසි ලෙස වාර්තා නොකිරීම හා සාක්ෂී වසන් කිරීම සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ද චෝදනා එල්ල වු අතර ඒ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ වී ඇත.
ඒ අනුව පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව අධිකරණය වෙත කරුණු වාර්තා කොට අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ද ලබා ගත්තේය.
ඒ අනුව ඉකුත 04 වැනි දින නීතඥයෙකු මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ බාර වු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කලේය.
තවද ඔහුට විදෙස් ගත වීම වැලැක්වීම සදහා ද නියෝගයක් නීකුත් කල අතර පසු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කෙරිණි.
ඒ අනුව ඉකුත් 05 වැනි දීන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ප්‍රධාන පොලීස් පරීක්ෂක උපුල් කුමාර මහතාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.
ඉන් පසුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට රාජකාරී වාර්තා කොට සේවය කරමින් සිටියදී අද (07) වැඩ තහනමට ලක් කර තීබුණේය.
මෙම සිද්ධියට අදාලව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු කොලඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට ද අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන අතර දින 08 ක් ගත වී ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
ඊයේ (06) වැලිගම මූලස්ථාන පොලීසියට අදාල මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දිනය වන බැවින් හිටපු පොලිස්පතිවරයා අධිකරණයට බාර වනු ඇති ඵවට බොහෝ දෙනෙකු සැක පහල කලද එවැන්නක් සිදු නොවීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්‍රිෂාන් ජිවක ජයරුක්