වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා අද (03) වරෙන්තු නිකුත් කලේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගනිමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කරන ලදි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරෙන්තු පිටපත ද රැගෙන සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැක පිට අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු සිය එම ස්ථාන වලින් පිටව ගොස් තිබුණි.
කෙසේ වෙතත් ඔහු නීතිඥ සහාය සහාය ලබා ගෙන හෙට (04) දිනයේ අධීකරණයට බාර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට විශ්වාසනීය තොරතුරු වලීන් වාර්තා වෙයි.
2023 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වැලිගම W15 හෝටලය ඉදිරිපිට දී කොලඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව නොදැන පාතාල කල්ලියක් යයි සිතා වැලිගම පොලීසියේ නිලධාරීන් පිරිසක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් කොලඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීය.
එම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනකු සැක පීට අත්අඩංගුවට ගන්නා ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉකුත් සිකුරාදා (28) නියෝග කලේය.
එහෙත් හිටපු පොලිස්පතිවරයා ඇතුළු එකදු සැකකරුවකු හෝ මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
මේ අතර අත්අඩංගුවට ගැනීමට සොයන වැලිග මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා වෙනුවට එම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල මහතා පත් කිරීමට මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා ඊයේ (03) සවස පියවර ගත්තේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.