කිරි ගවයන් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා ඊයේ (25දා) නියෝග කළේය.
පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් විසි දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් 23 වැනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම ගවයන් රජයට අයත් සත්ව ගොවිපළකට භාර දෙන ලෙසට පොළොන්නරුව අධිකරණය වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයට නියෝග කර තිබේ.
අධිකරණ නියෝග කඩකරමින් එම එළ ගවයන් ජාවාරම්කරුවන්ටම ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධව වැලි කන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 25 වැනිදා ඔහුගේ සියලු වත්කම් හා දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්සර් සදාක් මහතා පොලීසියට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට නිර්නාමික ලිපියක් ලැබී තිබෙන අතර ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් පොලිස්පතිවරයාට නියෝග කර ඇත. පොලිස්පතිවරයා එම විමර්ශනය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදී තිබේ. සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු, පොලීසිය විසින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි විය.
25 වනිදා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර පොලිස් පරීක්ෂවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 [1] වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රත්වරයා, වරෙන්තු ලැබ සිටින පොලිස් පරීක්ෂකවරයාට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාරගැනීමට නියෝග කළේය. ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කර තිබේ.
එමෙන්ම වරෙන්තුකරුට විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර ඇත. අප්‍රේල් 29 වෙනිදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද පොලිස් පරීක්ෂකවරයාට යළිත් නියෝග නිකුත්කර ඇත.