කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වැනිදා පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
එසේම පාර්ලිමේන්තුව ලබන 5,6 සහ 7 තෙදින පැවැත්වෙන බැවින් ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම ද මෙහිදී සිදුවී ඇත. ලබන 8 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.
මේ අනුව මාර්තු 5 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන්ව ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.30 දක්වා පසුගිය පෙබරවාරි 20 වැනිදා දෙවනවර කියවීමේ විවාදයට ගෙන කල්තබන ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවන දිනටත් විවාදයට ගෙන මීළඟ දිනට කල්තැබීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
මාර්තු 6 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා ද පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා ද කාලය වෙන් කර ඇත.
එසේම පෙ.ව 10.30 ට පමණ, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ දැනට පවතින 2024.02.03 දිනැති අංක 2369/58 දරන ගැසට් පත්‍රය කල් ඉකුත්වීමෙන් පසු ගරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගැසට් පත්‍රයේ සදහන් නියමය ද එදින විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.
අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, පෙර දින විවාදයට ගන්නා ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතය. එසේම එදින සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය.
අනතුරුව ධීවර අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත සීනෝර් පදනම, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි වාර්ෂික වාර්තා ත්‍රිත්වයකට අදාළ යෝජනාවන් විවාද කිරීමෙන් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
මාර්තු 7 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්වී ඇත. අනතුරුව ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය විසින් ඒකාබද්ධව ගෙනෙන යෝජනාවක් ලෙස “වනජීවීන් හේතුවෙන් සිදුවන වගා හානිය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ.