ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද අවධාරණය කළේය.
ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ෙඑතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ සහතික කිරීමට අදාළ සාකච්ඡා මෙම ජූනි, ජුලි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සමඟම බංකොළොත් රටක් යන නාමකරණය යටතේ අපට මෙතෙක් අහිමිව තිබූ විදෙස් ආධාර නැවත රටට ලැබීම ආරම්භ වන බවද පෙන්වා දුන්නේය.
එපමණක් නොව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙණු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙණු කිරීම ආරම්භ වීමත් සමඟ රටේ මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සමඟ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බවද කියා සිටියේය.
පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එබැවින් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභය ද කිහිප දෙනෙකුට පමණක් නොව සියලු ජනතාවට හිමිකර දීම අරමුණ බව ද අවධාරණය කළේය.
පෙරවරුවේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර අභිනව බෝධිඝරය සහ රන්වැට විවෘත කළ අතර අනතුරුව බෝධින් වහන්සේ උදෙසා සිදු කෙරුණු ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.
මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරාධිපති කෑගලු මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වැලිවිට ශ්‍රී ජනානන්දාභිදාන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, කඩවත පදිංචි ඉඩම් හිමි වැවිලිකරු ජගත් සුමිත්‍ර කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යන දෙපළගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව බෝධිඝරය සහ රන්වැට ඉදිකර තිබේ.
ජගත් සුමිත්‍ර කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යන දෙපළ වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.