ආනයන බහාලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා මූලික හේතුව වී තිබෙන්නේ බහාලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් සිමාවීම බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
රේගුවට භාණ්ඩ පරීක්ෂාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර කෙරවළපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කරනු ලැබූ බවත් සඳහන් කරයි.
ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්තමාන අර්බුදයට මුහුණ දීමට සිදුවී තිබේ.දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කරන බවත්, භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% - 40% දක්වා ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් සඳහන් කරයි.
පරීක්ෂාව සඳහා රඳවා ගන්නා බහලුම්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාව සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ෂක, ශාක නිරෝධායන, සත්ව නිරෝධායන සහ NMRA යන ආයතනවල අවශ්‍යතාව සඳහා වන බවද පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුබසිද්ධිය සදහ බවද සඳහන් කරයි.
දැනට බහාලුම් පරීක්ෂාව සඳහා ඇති අංගණ 03 හි ධාරිතාව බහාලුම් 350 ක් බවත්, දිනකට බහාලුම් 2000ක් ආනයනය කළ හොත් ඉන් 800ක් පරීක්ෂාව සඳහා යොමු වන බවත් සමහර දිනවල බහාලුම් 3000ක් පමණ ආනයනය කරන බවත් පෙන්වා දෙයි.රේගුව විසින් පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉහළ අවදානමක් ඇති බහාලුම් වන බවත්, දැනට පරීක්ෂා කරන බහාලුම්වලින් 65% ක වැරදි ඇති බවත් පෙන්වා දෙයි.
රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීම, හොරබඩු ජාවාරම වැළැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වන බවද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැනට බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිෂ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දෙයි.
නිෂ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ෂණය සඳහා නොපැමිණීම හා පිටකොටුවේ ගොඩබෑමට ඇති බහාලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගණවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගණවල ඉඩකඩ ඇහිරීමෙන් වැඩි බහාලුම් තොගයක් පරීක්ෂා කිරීමට නොහැකිවී තිබෙන බවද සඳහන් කරයි.
අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට අනුයුක්ත නොකිරීම හා මුළු කාලය පුරා රැඳී ඔවුන් සේවයේ නොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත් ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී තිබෙන බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වංචා සහ දූෂණ ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ෂාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ෂා කෙරෙන බහාලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන බව සඳහන් කරයි.
වර්තමාන රජය විසින් නැවතත් කෙරවළපිටිය යෝජිත රේගු පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්රියාමාර්ගයකින් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බවත්, කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ෂණ අංගණ භාවිතය පිළිබඳ අවධානය යොමු වී තිබෙන බවත් පෙන්වා දෙයි.