තලාව, ඉහළවැව ප්රදේශයේදී වන අලියෙකු සිදු කළ පහර දීමකින් අද (17දා) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව ඉහළම ප්රදේශයේ පදිංචිව සිටි විනීතා හේමමාලා සමරවික්රම නැමැති 63 හැවිරිදි කාන්තාවකි.
විවිධ කුලී රැකියා කරමින් ජීවිකාව ගෙන යන එම කාන්තාව නිවසක, දරුවෙකු බලා ගැනීම සඳහා නිවසින් පිටත්ව යන අතරවාරයේ දී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
මරණකාරිය රැකියාවට යාමට අතුරු මාර්ගයක සිට අනුරාධපුර - තලාව ප්රධාන මාර්ග ගමන් කරමින් සිටියදී, අලි වැට උඩින් සහ අලි අගලකින් එතෙර වී පැමිණ ඇති වන අලියෙකු මෙම පහර දීම සිදු කර ඇති බව පොලිසිය කියයි.
මොරගොඩ තේක්ක රක්ෂිතය වටා ඉදිකර ඇති අලි වැට සහ අලි අගල නිසි ප්රමිතියට ඉදි කර නොතිබීම හේතුවෙන් මෙලෙස වන අලි ගම් වදින බවත් මේ දිනවල සැරිසරන අලි තිදෙනකුගෙන් යුත් රංචුවක මිනීමරු වන අලියෙකු මග රැක සිට මෙම කාන්තාවට පහරදී ඇති බව ගම්වාසීහු පවසති.