වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු. 1700.00 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්යංශය විසින් නිකුත් කළ ගැසට් පත්රය අනුව තේ වතු සමාගම් 22කට වාර්ෂිකව රු. බිලියන 48 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ඇස්තුමේන්තු කර ඇති බව එම වතු සමාගම් වල උසස් නිලධාරීහු පවසති.
දැනට වතු කම්කරුවෙකුට දෛනිකව ගෙවනු ලබන රු 1000 වැටුපට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහිතව රු 1150 ක් ගෙවීමට සිදු වී ඇති බවත්, නව වැටුප අනුව තේ වතු සමාගම්වලට 70% ක අමතර පිරිවැයක් දැරිමට සිදු වී ඇති බවත් එම නිලධාරිහු කියා සිටිති.
රජය මගින් වැඩි කළ රු 1700 දෛනික වැටුපට සියලුම දීමනා සහිතව රු. 1900 ක පමණ මුදලක් ගෙවීමට සිදු වී ඇති බවත්, එම මුදල ජූලි මස සිට ගෙවීමට කටයුතු කරමින් සිටින බවත්, එම වැටුප් වැඩි කිරීම සියලුම තේ වතු සමාගම්වලට නොහැකි බවත් එම නිලධාරිහු කියති.
ජූලි මස සිට එම වැටුප ගෙවීමට නම් ඩොලරයේ වටිනාකම තවදුරටත් ස්ථාවර තත්ත්වයේ පැවතිය යුතු බවත්, පවත්නා තත්ත්වය මත වතු කම්කරුවන්ට දිනකට වැටුප් දෙකකට වැඩ කිරීම, සති අන්ත නිවාඩු දින සහ පොහෝ දිනයන්වල ලබාදෙන වැඩ දින ගණන නතර කිරිමට සිදු වන බවද ඔවුහු පවසති.
නව වැටුප ගෙවීමත් සමග තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට ලබාදෙන සුබසාධන කටයුතු සහ එම සේවකයන්ගේ යටිතල පහසුකම් නංවාලීමට සිදු කරන සංවර්ධන කටයුතු කිරීමට තේ වතු සමාගම්වලට නොහැකි බවත්, නැවත තේ වගා කිරීම, තේ වතු සුද්ද පවිත්ර කිරිම සහ තේ වගාවට රසායනික පොහොර සහ කෘමිනාශක යෙදීම සිමා කිරීමට සිදු වන බවත්,එයින් තේ වගාවේ අස්වැන්න අඩු වී ලෝක වෙළෙඳ පොළේ ශ්රී ලංකාවේ තේ සඳහා තිබෙන ඉල්ලුමට සරිලන තේ සැපයුමක් ලබාදීමට නොහැකි වීම හමුවේ එම වාසිය ඉන්දියාව සහ තේ අපනයනය කරන අනෙකුත් රටවලට ලැබෙන බවත් එම නිලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.