තමාට වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.
එම කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයන් සිටින බවද කථානායකවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව භාරගෙන හොඳින් කරගෙන යෑමට සූදානම්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්නයක් යොමුකළ අවස්ථාවේදී කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.
“වැඩබලන ඇමතිවරුන් පත් කිරීම පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් වෙලා. ඔබතුමා (කථානායකවරයා) මේ ආණ්ඩුව භාරගත්තොත් හරියට කරනවද?" යනුවෙන් මහලේකම්වරයා විමසූ අතර, “නෑ මට භාරගැනීමේ අදහසක් නැහැ. ඒවට කට්ටිය ඉන්නවා" යනුවෙන් කරු ජයසූරිය මහතා පිළිතුරු ලබාදුන්නේය.
වැඩබලන ඇමතිවරුන් පත් කර තිබීම නිසා අමාත්‍යාංශවල වැඩ කටයුතු නියමිත පරිදි සිදු නොවන බවත්, එම ඇමතිවරුන්ට හා කැබිනට් නොවන ඇමතිවරුන්ට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ජයසේකර මහතා මෙහිදී සඳහන් කළේය.
වැඩබලන ඇමතිවරුන් අමාත්‍යාංශවල කටයුතු ගැන නොදන්නා බවත්, ඔවුන් ස්ථිර කර ගැටලුව විසඳිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ තමන් ඇමතිවරුන් ලෙස කැබිනට් පත්‍රිකා අත්සන් කර ඉදිරිපත් කරන බවත්, අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී එම පත්‍රිකා අනුමත වන බවත්ය.
වැඩබලන ඇමතිවරුන් ඉදිරිපත් කරන පනත් හා අනෙකුත් පත්‍රිකා තමන් පිළිගන්නා බව මෙහිදී කථානායකවරයා පැවසීය.
වැඩබලන ඇමතිවරුන් පිළිගන්නේ නම් කැබිනට් ඇමතිවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ ලබා දී තිබෙන ආසන ලබාදිය යුතු යැයි බුද්ධික පතිරණ මහතා සඳහන් කළ අවස්ථාවේදී කරු ජයසූරිය මහතාගේ පිළිතුර වූයේ එවැනි දෙයක් සිදු කිරීම අපහසු බවයි.
