කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ආණ්ඩුව ඇදිරි නීතිය පනවා රටම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ එම අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) දින පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ,
“ කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය කටයුතු කරන්නේ විශේෂඥ උපදෙස් අනුව මිස දේශපාලන න්‍යාය පත්රයකට අනුව නොවේ. මේ මොහොතේ ආණ්ඩුවට වැදගත් වන්නේ වසංගතය පැතිරයාම පාලනයයි. ඒ සදහා ගතයුතු ගතහැකි සියලුම පියවර ගනිද්දී ජනතාව රැක බලා ගැනීමද රජයේ ප්රමුඛ කාර්යයක් වෙනවා. ඒ නිසයි මේ වන විට පවතින තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතාවයට පත්ව ඇති ජනතාවට රුපියල් 5000ක දීමනාවක් දෙන්න රජය කටයුතු කරන්නේ. ලක්ෂ 60 වැඩි පිරිසකට මෙම මුදල ලබා දීමට රජය කටයුතු යොදා තිබේ. වැඩිහිටි, ආබාධ සහිත වූවන්ට ලබා දුන් රජයේ දීමනාව මෙවර අප වැඩි කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ මෙවර රුපියල් 5000 දීමනාවක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.
ඒ එක්කම රජයේ අරමුණ ඇදිරි නීතිය හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාවට හොඳ සැපයුම් ජාලයක් ක්‍රියාත්මක කිරීම. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු මතුවෙනවා. ඒක සාමාන්‍යයයි. නමුත් අපි ඒ ගැටලු වලටද විසදුම් ලබා දෙමින් හැකි උපරිමයෙන් මේ වසංගතය පරාජය කරන්නටත් ජනතාව රැක බලා ගන්නටත් කටයුතු කරමින් සිටිනවා. මේක රජයේ වගකීම. අපට කොපමණ අවලාද නැගුවත් අප ඒ වගකිම නිසි ලෙස ඉටු කරනවා. මේක අපේ රට පමණක් මුහුණ දෙන තත්ත්වයක් නොවේ. මෙය ලෝක අර්බුදයක්. මේ මොහොතේ අප කල යුත්තේ රජයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ උපදෙස් වලට අනුව කටයුතු කිරීමයි. එම උපදෙස් නිසි ලෙස පිළිපැද්දොත් අපට මේ වසංගතය පරාජය කල හැකියි.
ඉදිරි සති 02 ක කාලය ඉතා තීරණාත්මක බවයි සෞඛ්‍ය අංශ මතය. මේ සති 02 තුළ අපට මේ වසංගතය මේ ආකාරයෙන් පාලනය කර ගත හැකි වුවොත් ඉදිරිය යහපත් වනු ඇති බවයි ඔවුන් කියන්නේ. මෙය රජයට පමණක් තනිව කල නොහැකියි. ජනතාවගේ සහයෝගය සියයට සීයයක්ම රජයට අවශ්‍යයි. ඒ නිසා ඉදිරි සති 02ක කාලයත් ඉවසීමෙන් කටයුතු කරන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.