ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැත්තා ඇතුළු තිදෙනෙක් බෙලරුස්හිදී අත්අඩංගුවට පත්වී ඇති බව ආරක්ෂක අංශවලට නිලවශයෙන් තොරතුරු ලැබී තිබේ.
ලොකු පැටී සමග අත්අඩංගුවට පත්ව ඇති අනෙක් දෙදෙනා වනුයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රොටුඹේ අමිල හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මර්වින් ජානාගේ බිරිඳ ද බව ද පැවසේ.
එමෙන්ම කංජිපානි ඉම්රාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සහ සේපාල රත්නායක නොහොත් රොටුඹ අමිල නමැති දෙදෙනාද රුසියානු දේශසීමාවේදී ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව ඇතිබවටද නිල නොලත් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි රාජ්‍ය යේ සිට බෙලරුස් හා රුසියානු දේශ සීමා හරහා යුරෝපයට පැනයෑමට උත්සාහ දැරීමේදී බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මූලික වශයෙන් මෙම අපරාධකරුවන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ජාත්‍යන්තර පොලීසියට හා විදෙස් බුද්ධි අංශවලට ලබාදී තිබූ බුද්ධි තොරතුරු මත මොවුන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවන් බවට විදෙස් ආරක්ෂක අංශ විසින් හඳුනා ගැනීම නිසා මොවුන් අත්අඩංගුවට පත්වී තිබේ.
විදෙස් අත්අඩංගුවට පත්වූ පිරිස නිලවශයෙන් අත්අඩංගුවට පත්වීම හා ඔවුන් එසේ අත්අඩංගුවට පත්ව ඇත්නම් ඔවුන්ව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක හා රාජතාන්ත්‍රික කටයුතු හා නිල ඉල්ලීම් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විදෙස් කටයුතු අමාත්‍යාංශය මගින් විදෙස් තානාපති කාර්යාල හරහා රුසියානු හා බෙලරුස් රජයන් දැනුම්වත් කිරීමට කටයුතු කර අවසන් බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ අතර, මෙම අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීම පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමග සංවිධානාත්මක පිරිසක් මොවුන්ව ශ්‍රී ලංකාවට නොගෙන ඒමට හා ඔවුන්ව බේරා ගැනීමට අවශ්‍ය කටයුතුද සිදුකරමින් පවතින බවටද ආරක්ෂක අංශවලට නිරීක්ෂණය වී තිබේ. අදාළ පුද්ගලයන් පිළිබඳවද ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පැවසේ.
ඉකුත් මස 8 වැනි දින අතුරුගිරිය ටැටූ කලාගාරයකදී වසන්ත සුරේන්ද්‍ර නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් තිදෙනා වෙත චෝදනා එල්ල වී තිබිණ.
ලොකු පැටී නමැත්තා 2017 වසරේ මැයි 9 පිළියන්දල මොරටු පාරේදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීවට වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඊට අමතරව ඉකුත් කාලයේදී දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සිදුකරන ලද මිනිස් ඝාතන රැසක් ඔහු විසින් මෙහයවා ඇතැයි පැවසේ.ඔහු මහාධිකරණයේ පවතින නඩු සඳහා පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙකි.
කංජිපානි ඉම්රාන් සහ රොටුඹේ අමිල මාකඳුරේ මදුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අතර ඉම්රාන්ට සහ රොටුඹේ අමිලට ඇප ලැබීමෙන් පසුව මෙරටින් පලා ගොස් විදේශගතව සැඟව සිට ඇත. ඉකුත් කාලයේ කන්ජිපානි ඉම්රාන් මෙරටට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එවූ පුද්ගලයකු බවත්, ඊට අමතරව එරට සිට මෙරට ගෝලයන් යොදවා මනුෂ්‍ය ඝාතන රැසක් මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වූ පුද්ගලයෙකු බවත් පොලීසිය පවසයි.
අමිල නමැත්තාටද මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතින බව එම පොලිස් නිලධාරීහු පවසති.
ඉන්දික හේවාවිතාරණ/බිමල් ශ්‍යාමන් ජයසිංහ