ඇලයාපත්තුව පොලිස් වසමේ ගල් කඩවල ප්රදේශයේ අඹ වත්තකට අයුතු ලෙස ඇතුළු වී අවස්ථා හතරකදී ලක්ෂ 12ක් වටිනා ටී.ජේ.සී. වර්ගයේ අඹ කිලෝ 6000ක් සොරකම් කල බව කියන පුද්ගලයෙකු පෙරේදා (29 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
පේරවත්ත, දීප්තිගම, ගල්කඩවල ප්රදේශයේ පදිංචි උපකාරක පන්ති ගුරුවරයෙකු සිදු කල පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තුනේ කණුව, ඉලිප්පුකුලම, ඇලයාපත්තුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
තමාට අයත් අඹවත්තේ අඹ ගස් 1000ක් පමණ ඇති අතර ආරක්ෂාව සඳහා පියා යොදවා සිටින බවත් පියාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් උස්සන්න වී රෝහල් ගත කර පසුව එම රෝගය උස්සන්න වී පියා ජීවිතක්ෂයට වූ බව පැමිණිල්ලේ සඳහන්වේ.
පියා රෝහල් ගතව සිටින අවස්ථාවකදී පරීක්ෂා කිරීමේදී අඹ වල අඩුවක් දක්නට ලැබුණු බවත් පසුව වරින් වර තුන් වතාවක් ගොස් බැලීමේදී අඹ කඩා තිබෙන බවට දැන ගත් බවත් එහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ දොළහක් වන බවත් පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද ( 31) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඇලයාපත්තුව පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුරු විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත්හ.