කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් යොදා ගෙන ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 04/05 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 27 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි . ඔහු ඉකුත් 04/05 දින පස්වරු 02.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත යාම සදහා එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9558 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු සිය ගුවන් නිශ්කාශන කටයුතු සිදු කර අවසන් වී විගමන කටයුතු සදහා පිටත්ව යමින් සිටින අතරතුර , ඔහු පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා මූලික විමර්ශනයක් සිදු කර තිබුණි .
එහිදී මෙම ගුවන් මගියා සතු ගමන් බලපත්‍රය මෙන්ම ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ද ( Boarding Pass ) කූඨ ලෙස සකස් කළ ඒවා බවට කරුණු අනාවරණය විය .
ඉන්පසුව ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුළ මොහුගේ සැබෑ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ ව්‍යාජ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී සොයා ගැනීමට මෙම නිලධාරීන් සමත් වී තිබුණි .
මොහු කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය වෙත යොමු කර ඔවුන්ට හසු නොවී , ඉතාලි නේවාසික වීසා බලපත්‍රය ලබා ගෙන තිබීම විශේෂත්වයකි.
මෙම කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රය මගින් ඉතාලිය වෙත ඇතුළු වූ සැනින් මෙම කටයුතු සංවිධානය කර දුන් තැරැව්කරු වෙත රුපියල් ලක්ෂ 95 ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත මෙම ගුවන් ගමන සැළසුම් කර ඇති බව මෙම තරුණයා ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .
ඉන්පසුව මෙම තරුණයා අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .