රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු 01/03 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතරින් එක් අයෙකු ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු ඩුබායි හි සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.
අනෙක් ගුවන් මගියා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකි .
ඔවුන් දෙදෙනා 01/03 දින අලුයම 05.15 ට ඕමානයේ මස්කට් නුවර සිට , ඕමාන් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , ඔවුන් ගමන් මලු තුළ සගවා ගෙන තිබූ " ප්ලැටිනම් " වර්ගයේ දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .
මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර , එළඹෙන 01/08 දින මොවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය ද , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .