ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලය විසින් බස් මගී ගාස්තු වෙනුවෙන් ටිකට් පත් නිකුත් කිරීමට ජී.පී.ආර්.එස් ටිකට් යන්ත්‍ර සඳහා යොදා ගැනෙන තාපන (Thermal ) කඩදාසි ටිකට් රෝල් මිලදී ගැනීමේදී නියමිත ලංසු පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීමෙන් එම මන්ඩලයට රුපියල් හාර කෝටි විසි අට ලක්ෂ පනස් නව දහස් හතලිහක මූල්‍ය පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ඉකුත් වසර වෙනුවෙන් ගමනාගමන මන්ඩලයේ විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ නවතම විගණන වාර්තාවක් මගින් මෙම අනාවරණය සිදුකර තිබේ.
මාස තුනක අවශ්‍යතාව වෙනුවෙන් මෙම කඩදාසි රෝල් මිලට ගැනීමට ජාතික තරගකාරී ලංසුකරන පටිපාටිය යටතේ සැපයුම්කරුවෙකුගෙන් එක් කඩදාසි රෝලක් රුපියල් 49.65 කට මිලට ගැනීමට ප්‍රසම්පාදන තීරණය කර තිබියදී එය නොතකා කටයුතු කිරීමෙන් මෙම මූල්‍ය පාඩුව සිදුකර ඇතැයි විගණනයෙන් පෙන්වා දෙයි.
ප්‍රසම්පාදන තීරණය පරිදි ප්‍රාදේශීය කාර්යාල හරහා ටිකට් රෝල් මිලදී ගෙන බස් ඩිපෝ වෙත බෙදාදෙන ලෙස ප්‍රසම්පාදන කමිටුව මගින් නියම කර තිබේ.
නමුත් එම උපදෙස් නොතකා ඩිපෝ 24 ක් මගින් ටිකට් රෝල් 161,110 ක් ඉහල මිලකට සෘජුවම මිලදී ගැනීමෙන් සහ තවත් ටිකට් රෝල් 364,400 ක් වෙළඳ පොළ මිලටත් වඩා ඉහල මිලකට මිලදී ගැනීමෙන් රුපියල් හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් අටසිය දහසයක් හා එක් කඩදාසි රෝලක් සඳහා ප්‍රසම්පාදනයෙන් තීරණය කළ රුපියල් 49.65 ට මිලට නොගෙන රුපියල් 108.84 ක් බැගින් කඩදාසි රෝල් 603,180 ක් මිලදී ගැනීමෙන් රුපියල් තුන් කෝටි පනස් හත් ලක්ෂ දෙදහස් දෙසිය විසි හතරක් වශයෙන් අවස්ථා කීපයකදී රුපියල් 42,859,040 ක් වූ මෙම සමස්ථ පාඩුව සිදුකර ඇතැයි විගණන කාර්යාලය හෙළිකර ඇත.
අනුමත නොකළ සැපයුම්කරුවන් ගෙන් ටිකට් රෝල් මිලට ගෙන ඇත්නම් සොයා බලා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මන්ඩලයේ කළමනාකාරිත්වය මගින් මේ සම්බන්ධයෙන් වූ විගණන විමසුමට පිළිතුරු දෙමින් සඳහන් කර තිබේ.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීමෙන් මන්ඩලයට සිදුව ඇති පාඩුව අදාල අයගෙන් අයකර ගැනීමට කටයුතු කළ යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.