ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර තිබුණි. මේ නිසා 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කොට ඇති බව මෙසේ කෝප් කමිටුවේදී අනාවරණය විය.
මෙම කරුණු අනාවරණය වූයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කමිටුව ඊයේ ( 06 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
විශේෂයෙන් මෙහිදී නියමිත ක්‍රමවේදයකින් තොරව මෙසේ මුදල් වියදම් කිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය. එසේම දුප්පත් අහිංසක ජනතාවට සේවයක් කිරීමට ඇති මෙවැනි ආයතනයක් මෙසේ මුදල් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එසේම සුඛෝපභෝගී බස්රථ 125 ක් සඳහා කැමරා හා ජී.පී.එස්. ( GPS ) පද්ධති පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා පෞද්ගලික සමාගමක් සමඟ රුපියල් 33,628,840 ක ගිවිසුමකට එළඔ තිබුණි. එහෙත් මෙම උපකරණවලින් කිහිපයක් හැර අනිත් උපකරණ නිවැරදිව ක්‍රියාකාරී මට්ටමේ නොපවතින බව කොප් කමිටුවේදී අනාවරණය විය.
විශේෂයෙන් මෙම බස් රථ වල සේවකයින් මෙම උප උපකරණවලට හිතාමතාම හානි සිදුකර ඇති බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසූහ. එම පරීක්ෂණය අවසන් වූ වහාම වාර්තාවක් ලබා දීමටත් ඔවුහු පොරොන්දු වූහ. එසේම අදාළ සමාගමේ සේවා කාලය අවසන් වී නොමැති නම් ක්‍රියාකාරී මට්ටමේ නොපවතින එම උපකරණ අදාල සමාගම මඟින් නැවත පිළිසකර කර ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී එම නිලධාරීහු සඳහන් කළහ.
තවද 2018 දෙසැම්බර් 24 දින ලබාගත් රුපියල් 150,000,000ක බැංකු ණය මුදල, මුදල් අමාත්‍යවරයාගෙන් විමසා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව මත ලබා ගත යුතු උවත් එසේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය නොගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙවැනි ණය ප්‍රමාණයක් නිලධාරීන් කිහිපදෙනෙකුගේ හිතුමතයට ලබාගත නොහැකි බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ නිසා මේ පිළිබඳව අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.
එසේම 2017, 2018, 2019, 2020 යන වර්ෂ වලට අදාල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට සභාගත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මෙම කාල සීමාව තුළ මුද්‍රණය කිරීම පිළිබඳ යම් ගැටලු තත්ත්වයන් ඇතිවී තිබූ බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ නමුත් 2017 සහ 2018 වර්ෂ වල වාර්ෂික වාර්තා මේ වන විටත් අමාත්‍යාංශයට භාර දී ඇති බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව දෙසැම්බර් 31 වෙනි දිනට පෙර මෙම සියලු වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදි.
2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක් රුපියල් මිලියන 35 ක් වැයකර කර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන තිබුණි. නමුත් 2018 වර්ෂයේ දී ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 2000ක් මිලදී ගැනීමට රුපියල් 75,900,000ක මුදලක් වියදම් කර තිබුණි. මේ අනුව අනුමැතියකින් තොරව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක් මිලදී ගෙන තිබූ අතර, මෙම මිලදී ගත් මැෂින් මගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවී තිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. මේ නිසා මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.
එසේම අධ්යක්ෂ මණ්ඩලයේ තනතුරු කිහිපයක ගැටලු පිළිබඳවද, ධාවනයේ පවතින 5921ක බස් රථ සංඛ්‍යාව පිළිබඳවද, දැනට ධාවනයෙන් ඉවත් වී ඇති බස් රථ සංඛ්‍යාව පිළිබඳවද, එසේම වසර 10 ක් පැරණි 2742ක බස් රථ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරුණි.