ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්වල නිරත වෙමින් විවිධ පිරිස් රැවටූ බව කියන චීන ජාතික කාන්තාවන් හා පිරිමින් 53 දෙනෙකු සමග ජපන් ජාතික කාන්තාවක් නොරෝච්චෝල සංචාරක හෝටලයක නැවති මූල්‍ය වංචාවල නිරත වෙමින් සිටියදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් විසින් අද (31දා) අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණ කිසිවකුට සැක නොසිතන අයුරින් නොරෝච්චෝල ප්‍රදේශයෙහි සංචාරක හෝටලයක් සම්පූර්ණයෙන් කුලී පදනමට ගෙන එහි නැවතී සිටි පිරිසකි.
ඉකුත් ජුනි 28 දින පළමුව ජාවාරම මෙහෙය වන බව කියන චීන ජාතික යුවළ හා තවත් 13 දෙනෙකු නොරෝච්චෝල සංචාරක හෝටලයකට පැමිණ කාමර 52 කින් සමන් විත අදාළ සංචාරක හෝටලය සම්පූර්ණයෙන් කුලී පදනමට ලබා ගෙන නැවතී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
චීන ජාතිකයන් පිරිසක් සැක කටයුතු ලෙස නොරෝච්චෝල සංචාරක හෝටලයක රැඳී සිටින බවට පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලැබුණ විශේෂ තොරතුරක් මත පොලිස් අධිකාරිවරයා විසින් කොට්ඨාස බුද්ධි නිලධාරීන් හා පොලිස් ස්ථාන බුද්ධි නිලධාරීන් යොදවා විශේෂ විමර්ශනයක් පවත්වා තිබේ.
පුත්තලම අධිකරණයෙන් ලබා ගත් විශේෂ සෝදිසි වරෙන්තුවක් මත අදාළ හෝටල් පරිශ්‍රය පරීක්ෂා කිරීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර දී ඇත.
අදාළ නිලධාරීන් එම හෝටල් පරිශ්‍රය පරීක්ෂා කිරිමේදී 42 දෙදෙනෙකු හෝටල් කාමර තුළ සිටියදීද 11 දෙනෙකු වැසිකිළි වල සැඟව සිටියදීද අත් අඩංගුවට ගෙන තිබේ.
හෝටල් කාමර පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් පරිගනක 50 ක්, අයි ෆෝන් 98ක් සහ සිම් කාඩ් 2000 කට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමට හැකි විය.
ජාවාරම මෙහෙය වූ බවට සැක කරන චීන ජාතික යුවළ භාවිත කළ රුපියල් කෝටි හයකට ආසන්න අධි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.
මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම චීන ජාතිකයන් විසින් ජපානය ඇතුළු රටවල් රැසක පිරිස් මූල්‍ය ජාවාරමට හසුකර ගෙන ඇති බවය.ඒ සමගම මොවුන් භාවිත කළ පරිගනක ජාලගත කරමින් දැවැන්ත මුදලක් මෙලෙස වංචා කර ඇති බවට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැක කරයි.
හෝටල් පරිශ්‍රය තාවකාලිකව මුද්‍රා තබා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගනක අපරාධ කොට්ඨාසයට භාර දීමට කටයුතු කර තිබේ. චීන ජාතික යුවළ සතුව තිබී රුපියල් එක්කෝටි දාසය ලක්ෂ පනස් දහසක මුදලක්ද අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම්වලට හැකිව තිබේ.
පරික්ෂණවලදී හෙළිව ඇත්තේ මෙම චීන ජාතිකයන් සංචාරක හෝටලයට පැමිණීමට පෙර කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයෙහි සුඛෝපභෝගී හෝටලයක නැවතී ඇති බවත්, එහි හිමිකාරිත්වයට ඇතිවූ සැකයක් මත එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට දැන්වීමත් සමග එයින් පිටව මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති බවත්ය.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ මෙහෙය වීමෙන් පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ මැදිහත් විමෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.