ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට නියමිතව ඇත. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් ලෙස සඳහන් වේ.
මෙම බලාගාරය ඉදිකිරීම් සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සදහා අත්සන් තැබූහ.
රාජ්‍ය හා පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘති සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම් සුදුසු පරිදි යොදවන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම සංස්ථාවට උපදෙස් දී ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ඉඩම ලබා දීමෙන් රුපියල් මිලියන 720 ක ආදායමක් උපයන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සදහන් කරයි.
මෙම විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාලව භූගත නළමාර්ග පද්ධතියක් (ඩීසල් හා සිසිලන ජලය) ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුතුරාජවෙල පිහිටි අක්කර 2 ½ ක ඉඩමක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30 කට බදු දීමට අදාල ගිවිසුමකටද මෙහිදී සභාපතිවරු විසින් අත්සන් තැබූහ.
ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේද මේ ආශ්‍රිතවයි. එහි ඉදිකිරීම් කටයුතු 2021 වසරේදී ආරම්භ කෙරුණු අතර ඉදිකිරීම් වසර 3 ක කාලයකින් අවසන් කිරීමට නියමිතය. මෙම විදුලි බලාගාරය මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවයකින් යුතුවේ. මෙම බලාගාර දෙක ඉදිකර අවසන් වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 700 කි.