මෙවර මැයි රැළිය ආණ්ඩු පෙරළියට පෙර පැවැත්වෙන එකම මැයි රැළිය බව උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.04.29) පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"මෙවර මැයි දින රැළිය ආණ්ඩු පෙරළියට පෙර පැවැත්වෙන එකම මැයි රැළිය. ආණ්ඩු බලය ඉල්ලන බලවේග අද ජනතාව ඉදිරියට ඇවිල්ලාම මොනවද කියන්නේ. ජනතාවට ණයට කාලා සැපට ඉන්න හොඳටම ණය අරන් දෙන්න පුළුවන් අපටයි කියලයි මේ හැමෝම ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්නේ.
එක් කෙනෙක් කියනවා “අයිඑම්එෆ් සහ ලෝක බැංකුව මා සමඟයි. මම නැත්නම් ඔයාලට ණයට ගන්න බැරිවෙයි” කියලා. අනික් එක්කෙනා ඇවිත් කියනවා “මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හන්දා වඩා හොඳ සහන කොන්දේසි හරහා ණය ගන්න පුළුවන් මටයි” කියලා. තුන්වැන්න ඇවිත් කියනවා “ඉස්සර වගේ නෙවෙයි ජාත්‍යන්තරය දැන් අපිත් එක්ක හරිම යාලුයි. ඒ නිසා අපි ණය ගෙවන්න බැහැ කිව්වහම කමක් නැහැ මචන් පුළුවන් වෙලාවක ගෙවපන් කියලා පිටට තට්ටුවක් දානවා. අපි බලයට ආවොත් ඩොලර් දෙන්නත් ඕන තරම් කට්ටිය ඉන්නවා.” යනාදී වශයෙන් තමයි මෙයාලා ආඩම්බර වාක්‍යය කියන්නේ.
මේ හැමෝම මෙරට ණයබර වැඩි කරන්නේ කොහොමද කියලා කියනවා මිසක් මේ ණය උගුලෙන් මිදෙන්නේ කොහොමද කියලා නම් කියන්නේ නෑ. 1977 න් ආරම්භ වෙච්ච මේ ණය බෝම්බය 2022 පුපුරා ගිහිල්ලා අපි හැමෝටම තුවාල වුණා. දැන් නැවත වතාවක් මේ තුන්ගොල්ලොම එකතුවෙලා අලුත් ණය බෝම්බයක් හදාගෙන යනවා. මේක ඉදිරි පස් වසර තුළ නැවත වතාවක් පුපුරා යන්නේ මුළු ජාතියටම විශාල හානියක් කරමින්.
මේකට විකල්පය කුමක්ද? මේ රටේ නිෂ්පාදනය ඉහළ දාලා, මේ රටේ අපනයන ආදායමත් ඉහල දාලා, දේශීය දේ නිෂ්පාදනය කරන්න සහ පාරිභෝජනය කරන්න ජනතාව පොළඹවන ක්රමවේදයක තමයි මේ අර්බුදයට උත්තරේ තියෙන්නේ.
නමුත් අවාසනාවකට මේ කිසිම කෙනෙක් ජනතාව ඉස්සරහට ඇවිල්ලා රටේ නිෂ්පාදනය ඉහළ දමන්නේ කොහොමද කියලා කියන්නේ නෑ. සිරිලක දේ සිරි සැප දේ කියලා දේශීය දේ මිලදී ගන්න කියන්නෙත් නෑ. ඒ නිසා ජනතාවට මේ පවතින අර්බුදයෙන් ගොඩ යෑම සඳහා වන විකල්ප වැඩපිළිවෙලක් සමඟ මැයි දිනය සමරන්නේ අප පමණයි කියන එක ඉතාම බය නැතුව කියන්න පුළුවන්.
මේ අර්බුදයෙන් ගොඩ යමේ මෙවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම සඳහා මේ දේශපාලන නායකයන් අසමත් වීම නිසා අද අපේ රටේ තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත්වෙලා රට හැර යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගිය සතියේ නිකුත් වුනා මහ බැංකු වාර්තාව 2023 වර්ෂය සඳහා. 1871 තමයි මෙරට ජන සංගණන පවත්වන්න පටන් ගත්තේ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ ජනගහනය අඩු වෙන්න පටන් අරන් තියෙනව. 2022 හිටිය මිලියන 22.2 ජනගහනය 2023දී මිලියන 22 දක්වා 0.6%කින් අඩුවෙලා තියෙනවා.
එක පැත්තකින් උපත් අඩු වෙලා අනිත් පැත්තෙන් මරණ වැඩි වෙලා තෙවනුව පසුගිය වසර කිහිපයේදීම වසරකට ලක්ෂ තුනකට අධික පිරිසක් රට අත්හැරලා ගිහිල්ලා.
මේ මහ බැංකු වාර්තාවේ පෙන්නනවා 2007පැවති උපත් අනුපාතය නැතිනම් උපත් වර්ධන වේගය 1.93%යි. හැබැයි ඒක 2023 වෙද්දී 1.12% දක්වා පහතට ඇවිල්ලා. අනිත් පැත්තෙන් මරණ. 2007දි 0.59% වූ මරණ අනුපාතය 0.82% දක්වා වැඩිවෙලා තියෙනවා. මේ අතරේ තමයි තරුණ පරපුර රට අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ. රටේ රැඳිලා ඉන්නේ වැඩිහිටියෝ වීමත් මීට බලපානවා. එවිට උපත් ඇතිවීම අඩුයි, මරණ ඇතිවීම වැඩියි.
ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදීම වැඩිහිටියන් පමණක් සිටින වැඩිහිටි නිවාසයක් බවට පත්වීම වළක්වා ගැනීමට නම් ජනතාවට තරුණ පරපුරට බලාපොරොත්තුවක් ලබා දිය යුතුයි රට ගැන. ඒ බලාපොරොත්තු අරගෙනයි අපි මැයි දිනයට එන්නේ කියන එක අපි ජාතියට මතක් කරනවා."