ඉන්දීය ධීවරයන් උතුරු - නැගෙනහිර සිදු කරන නීති විරෝධී මත්ස්‍ය අස්වනු නෙළීම නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 02ක පමණ ආදායමක් අහිමි වන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.
එමෙන්ම ඉන්දියාවෙන් ඉස්සන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හරහා ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් සහනය අහිමි වීමේ අවදානමක් තිබෙන බවටද කාරක සභාවේදී අනාවරණය වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා 'අද' පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේය.
එමෙන්ම නාරා ආයතනය ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් උතුරු - නැගෙනහිරට අයත් මුහුදු සීමාව පිළිබඳ වසර 30කින් සමීක්ෂණයක් සිදු කර නොමැති බවටද අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
&ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස ධීවර ජනතාවට මුහුණ දෙන්න තිබෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර සහ ඒවාට විසඳුම් ලබා දීමට කාරක සභාව රැස් වුණා. මෙහිදී කරුණු ගණනාවක් හෙළිදරව් වුණා. එකක් තමයි අනවසර මත්ස්‍යන් සහ ඉස්සන් බදු ගෙවීමකින් තොරව රටට ආනයනය කරන බව හෙළිදරව් වුණා. ඒවා ප්‍රතිඅපනයනය මුවාවෙන් ආනයනය කරලා රට තුළ විකුණන ස්වාභාවයක් හෙළිදරව් වුණා. විශේෂයෙන්ම ඉස්සෝ වර්ෂයකට මෙට්‍රික් ටොන් 10,000ක පමණ ප්‍රමාණයක් තමයි ගෙනවා කියලා කිව්වේ. ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් අපි ඉල්ලුවා.
ඉස්සන් ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරලා යුරෝපීය වෙළඳපොළට යවන්න ජී.එස්.පී.ප්ලස් සහනය යටතේ කිසිදු හැකියාවක් නැහැ. මේ හෙළිදරව් වීම ලංකාවේ සම්පූර්ණ ඉස්සන් වෙළඳපොළට යුරෝපයේ තිබෙන ඉස්සන් වෙළඳපොළ මුලුමනින්ම අහිමි වීමේ තර්ජනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා.
ඊළඟට හෙළිදරව් වුණු කාරණාව තමයි ඉන්දීය ධීවරයන් උතුරු - නැගෙනහිර මත්ස්‍ය නිෂ්පාදන බලහත්කාරයෙන් ඇවිල්ලා නෙළා ගන්නවා විතරක් නෙවෙයි, අවුරුදු දහස් ගානක් තිස්සේ කොරල් පර ඇතුළු ස්වාභාවිකව නිර්මාණය වෙලා තිබෙන මුහුදු පතුල සම්පූර්ණයෙන් විනාශ කරමින් විශාල ටෝලර් වර්ගයේ නැව් යොදාගෙන, තහනම් ආම්පන්න පාවිච්චි කරලා අක්කර ගාණක් එකපාර අල්ලන්න පුළුවන් දැල් යොදලා, විශාල යකඩ කඳන් යොදලා මුහුදු පතුලට යවලා මුහුදු පතුල සුරාගෙන යමින් අස්වැන්න නෙළා ගැනීම සිදු කරනවා. මේ පිළිබඳ වීඩියෝ පට පවා අපිට ඉදිරිපත් වුණා.
මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කියන විදියට සාමාන්‍යයෙන් ඉන්දියාව අනවසරෙන් නෙළා ගන්න මත්ස්‍ය වටිනාකම වර්ෂයකට ඩොලාර් බිලියන 2ක් පමණ වන බව තහවුරු වුණා.
අපි නාවික හමුදාවටත්, වෙරළ ආරක්ෂක බලකායටත් නියෝගයක් ලබා දුන්නා විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමග එකතුවෙලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා පවත්වලා මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. මේක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රශ්නයක් වන මට්ටමට ගිහින් තියෙන්නේ. මේ නිසා උතුරු නැගෙනහිර ධීවරයන් දහස් ගණනකට ජීවන වෘත්තිය කරගෙන යන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. අපි මේ කාරණ වහාම නිවැරදි කරන්න නියෝගයක් නිකුත් කළා.
නාරා ආයතනය අපේ උතුරු - නැගෙනහිර මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් අපිට ස්ථීරවම අයත් මුහුදු සීමාව පිළිබඳ වසර 30ක් මෙපිට කිසිදු නිරීක්ෂණයක්, සමීක්ෂණයක් සිදු කරලා නෑ. ඒ අනුව සමීක්ෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න අපි නියෝග කළා. ඒ වගේම ඉස්සන් නීත්‍යනුකූල නොවන ආකාරයට ආනයනය කරලා අපනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා රටට බිලියන ගණනක බදු ආදායමක් අහිමි වෙලා තියෙනවා. සමාගම් 03ක් මේකට සම්බන්ධයි කියලා ආයෝජන මණ්ඩලය කිව්වා. ඒ අනුව ගෙවලා නැති බදු අය කරගන්න කියලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියෝගයක් කළා. ඒ වගේම ධීවර අමාත්‍යාංශයට නියෝගයක් කළා තාවකාලිකව මේ ඉස්සන් ආනයනය නතර කරලා, ඒ පිළිබඳ පරීක්ෂනයක් කරලා පසුව ඒ ගැන තීරණයක් ගන්න කියලා. *